Archive for December 2013

උසස් පෙළ කඩඉම

ඔන්න ඉතින් ඒකත් ඉවරයි. අවුරුදු 4ක් තිස්සේ කරපු දේවල් වල ප්‍රතිඵල ඊයේ ආවා. 2012 දී  පළමුවර CSS ගත්තු මට 2013 දී දෙවනවර කරලා BBC හම්බුණා. C සංයුක්ත ගණිතයට. (හැබැයි ඉතින් මම හොදටම ලිව්වේ මේකට. මේ විෂයය ගැන මම හිතන් හිටපු විදිය වැරදිද මන්දා.) සාමාන්‍ය පොදු පරීක්ෂණයට 75 ක්ද ඉංග්‍රීසියට C සාමාර්ථයක්ද Z-අගය 1.1736 ක්ද දිස්ත්‍රික් කුසලතාව 409 ද දිවයිනෙන්ම 4447 වැනි ස්ථානයද ලැබුණා. හැමෝටම වගේ මටත් හිතෙනවා මීට වඩා යමක් කරන්න තිබ්බනම් කියලා. දෙවනවර ලිව්වේ ඉංජිනේරු සිහිනය හැබෑකරන්න නමුත් තොරතුරු තාක්ෂණ අංශයෙන්වත් හීනය සැබෑ කරගන්න තමයි දැන් මාන බලන්නේ. ඒකට ඉතින් තව මාස දෙක තුනක්වත් බලන් ඉන්න වෙයි. (රජයේ විශ්ව විද්‍යාලයකට යන්න සෑහෙන්න ඉවසීම ප්‍රගුණ කරන්න වෙනවනේ.) ‍ඉතින් සියලු උසස් පෙළ සමතුන්ට මගෙන් උණුසුම් සුභ පැතුම්!
Image from lankanstuff.blogspot.com

කොහොමහරි කමක් නෑ. දැන් උසස් පෙළ ජීවිතය අවසන් කරපු හින්දා  මේ ජීවිතයට පය තබන සහ තැබූ නවකයින්ට පොඩි උපදෙස් ටිකක් දෙන්න හිතුවා. හැබැයි ඉතින් මේවා ලියන්න මට මහ ලොකු සුදුසුකමක් නෑ. දන්න දේ පොඩියට හරි බෙදාගන්න හිතුවා.

විෂයය ධාරාව තෙරීම

මේක වැදගත් කාරණයක්. මං ගැන කියනවනම් මට කිසිම බලපෑමක් ආවේ නෑ කාගෙන්වත්. ගෙදරින් කැමති දෙයක් තෝරාගන්න ඉඩ දිලා තිබ්බේ. මගේ අයියා තෝරා ගත්තේ ගණිත විෂයය ධාරාව නිසාත් පරිගණක අංශයේ රැකියාවකට මෙය උදව්වක් වන නිසාත් ගණිතය/විද්‍යාව වගේ විෂයයන්ට අසා නිසාත් ගණිතය විෂයය ධාරාව කරපු කෙනෙක්ට ගොඩ යන්න මොකක් හරි මඟක් තියෙන නිසාත් කෙලින්ම මේකම තෝර ගත්තා. මේ කාලේ වෙනකොට ICT ප්‍රධාන විෂයයක් විදියට ආව නිසා මට රසායන විද්‍යාව අයින් කරලා ඒක කරන්න හිතුවත් හොයල බලද්දී සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව කියන මේ විෂයයන් ත්‍රිත්වය නැතුව ඉංජිනේරු පීඨයට ඇතුලත් වෙන්න බෑ. මොකද පස්සේ තමා මට ආසාවක් ඇති වුණේ ඉංජිනේරු වෘත්තිය පිළිබඳව. ඉතින් ඔබ විෂයයන් තොරද්දී අනාගතය ගැන හිතන ගමන් තමන්ගේ ආසාව ගැනත් හිතන්න.

පාසල

පාසල් කාලයේ අවසානය සනිටුහන් වෙන්නේ උසස් පෙළ විභාගයත් සමඟ. ඒක නිසා මේක ගොඩක් වැදගත් වන කාලයක්. ඒක නිසා හොද විදියකට පාසලින් සමුගන්න උත්සහ කරන්න. පාසල සහ ටියුෂන් පටලවා නොගන්නවා තරමට ඔබට ගොඩක් පහසුයි. මේ ස්ථාන දෙකටම තියෙන්නේ එකිනෙකට වෙනස් වූ උප සංස්කෘතීන් දෙකක්. සමහරවෙලාවට ඔබට හිතෙනවා වෙන්න පුළුවන් පාසල් ගුරුවරයාගෙයි ටියුෂන් ගුරුවරයාගෙයි පැහැදිලි කිරීමේ හැකියාව ගත්තම අහසට පොළොව වගේ කියලා. ඉතින් එහෙම කියලා සම්පූර්ණයෙන්ම ඉස්කෝලේ අමතක කරලා දාන්න යන්න එපා. පාසල කියන්නේ නීති රාමුවක් තුල සංවිධානය වෙච්ච දෙයක්. ටියුෂන් ගොඩක් වෙලාවට එහෙම නෑ. කවුරු මොනවා කිව්වත්  80% පාසල් පැමිණීම අනිවාර්යයි. මුල ඉදලම නොකඩවා පැමිණීම පසුවට පහසුවක් වෙන්න පුළුවන්. ඒකෙන් ඔබට අඩුම තරමේ එකම පාඩම දෙවතාවක්වත් මතකයට නඟා ගන්න හරි පුළුවන්. කොහොමත් අන්තිම කාලෙදී අපේ කට්ටිය ඉන්නේ ටියුෂන් පංති වල කියලා හැමෝම දන්න දෙයක්නේ.

ටියුෂන්

අද ලංකාවේ පළමුවැනියා වුණත් මොකක් හරි ටියුෂන් පංතියකට යන තත්ත්වයක් තියෙන්නේ. ඉතින් තරගකාරීත්වය උපරිම වෙලා. පාසල ගැන ඔබට සහතිකයක් තියෙනවනම් ඔබ ගැන විශ්වාස නම් ටියුෂන් නොගියා කියලා මහ ලොකු වරදක් නැ. පාසල් විතරක් ගිහිල්ලා විභාගය සමත් අයත් ඕනේ තරම් ඉන්නවා.

ස්වයං අධ්‍යයනය

මේකට ලොකු ආසාවක් නැත්නම් කරන්න ආමාරුයි. පොත පත , අන්තර්ජාලය , රූපවාහිනිය වගේ ගොඩක් දේවල් පාදක කරගෙන තනියම ඉගෙන ගන්න පුළුවන්. සියලුම විෂය නිර්දේශයම තමන්ට ආවරණය කරගන්න නම් කරන්න බැරිම දෙයක්. කෝකටත්  අදාළ පොත්වල කරුණු සහ විෂය නිර්දේශයේ කරුණු අතර ගැලපීම් ගැන දැනුවත්ව ඉන්න. පොත පතේ කරුණු හොඳින් අධ්‍යයනය කර පස්සේ ගුරුවරයෙකුගෙන් නැවත එම කරුණු ඉගෙන ගැනීමේදී ඔබට ලේසියෙන්ම පාඩම ග්‍රහණය කරගන්න පුළුවන්.  මේක මම ප්‍රායෝගිකව අත්දැකපු දෙයක්.

ව්‍යාපෘති

මේක බොහෝ දෙනෙක් විහින් ඇණයක් කරගෙන තියෙනවා. ප්‍රධාන හේතුව කියලා මම හිතන්නේ පස්සේ කරන්නම් කියලා කල් දැමීම සහ නිසි කාල කළමණාකාරීත්වයක් නැති කම. අපේ පංතියේ උන්ට නිවාඩු පවා ලැබුණා නියමිත දිනට භාර නොදීම නිසා. තමන්ගෙම ස්වනිර්මාණයක් කරලා පොඩි ආත්ම තෘප්තියක් ලබාගන්න මේක හොද අවස්ථාවක්. ඇත්තටම පිටු දෙසීය තුන්සීයේ පොතක් ගෙඩි පිටින් කොපි කරනවට වඩා හොද නැද්ද තමන්ට පුළුවන් පරිදි තමන්ගෙම කියලා පොඩි නිර්මාණයක් කරන එක. මේකේදී අර වගේ පිටු ගණක් ලියන්න වද වෙන්න ඕනෙත් නෑ. කණ්ඩායම් ව්‍යාපෘතියට නම් ගොඩක් වෙලාවට කරන්නේ ඉස්කෝලේට මොකක් හරි කරල දෙන එකනෙ. මේ වැඩේ සාර්ථකව කරන්නනම් සෑම සාමාජිකයෙකුම කැපවීම අත්‍යවශ්‍යයි. අපේ කණ්ඩායම් ව්‍යාපෘතිය නම් මෙලෝ රහක් නැති එකක්. අන්තිම මොහොතේදී පිටු තුන හතරක පිංචක් තමා දුන්නේ.

ඉංග්‍රීසි භාෂාව

මට හිතෙන හැටියට උසස් පෙළ කාලේදී බල්ලගේ ගානටම වැටෙන විෂයයක් තමා මේක. මම දන්න ගොඩක් උන් ඉන්නවා ඉංග්‍රීසි වහකඳුරු වගේ. මට හිතෙන විදියටනම් මේකට මූලිකවම හේතු වෙන්නේ මූලික පදනම හරියට නොලැබීම සහ තමන්ගේ ඍණාත්මක ආකල්පයි. විශ්ව විද්‍යාලයට ඇතුලත්වීමේ ඉංග්‍රීසියට ඇති සාමාර්ථය නොසලකා හරින නිසා බොහෝ දෙනෙක් මුලදීම මේක අත අරිනවා. මං ගැන කියනවනම් මම උසස් පෙළදී මාස දෙක තුනක් විතර තමයි ඉංග්‍රීසි ඉගෙන ගත්තේ. අන්තිම කාලයේදී අපේ ඉංග්‍රීසි ගුරුතුමියට සිද්ධ වුණා අනෙක් විෂයයන් තුන වෙනුවෙන් තමන්ගේ කාල පරිච්ඡේදය කැප කරන්න. අන්තිමේදී මුකුත්ම නොකර ඉංග්‍රිසියට C ක් නම් තිබුණා. (පලමුවර දෙවනවර දෙකේදීම C) කොහොමහරි ඉංග්‍රීසිය අසමත් නොවී තබාගැනීම වටිනවා.

බය විම සහ කල්දැමීම

විභාගය ලං වුණාම දැන් ප්‍රමාද වැඩියි කියලා හිතිලා ඊළග පාර කරනවා කියලා කල් දාන එක නම් එච්චර හොද නෑ. මොකද මටත් මේක හිතුණා. හැබැයි මොනාහරි වෙච්චි දෙන් කියලා හිත හදාගෙන මම ලිව්වා. ඒකෙන් උසස් පෙළ විභාගයේ පළමු අත්දැකීම ඔබට ලැබෙනවා. එතකොට ඔබ දෙවැනිවර යන්නේ ඒ අත්දැකීම අමතර වාසියක් කරගෙන. පාඩම් වැඩ වුණත් අද වැඩ ටික අදම කරන්න. ඕනවට වඩා කල්පනා කරලා තනියම බය වෙන්න එපා.

පංතිය තුල තරගකාරීත්වය

මගේ ජනප්‍රිය පාසල් වල මිතුරන්ගේ මම දැක්ක දෙයක් තමා ඔවුන්ගේ පංති කාමර තුල හොද තරගකාරිත්වයක් තියෙනවා. මම එහෙම කිව්වේ අපේ පංතියේ 15 දෙනාට සාපේක්ෂව. ඒකෙන් ගොඩක් දෙනෙක් නොදැනීම පිටිසර පාසල් සිසුන්ට වඩා ඉදිරියට එනවා. හැබැයි ඔබ උසස් පෙළ කරනකොට තමන්ව පංතියේ ළමුන් එක්ක විතරක් සසඳන්න යන්න එපා. මේක හොදටම තෙරේන්නේ ළමුන් දහස් ගණන් ඉන්න ටියුෂන් පංතියකට ගියාම. ඔබට තරග කරන්න වෙන්නේ නොපෙනෙන තරග කරුවෙක් එක්ක. ඒක නිසා අනුන් කරන විදියට නොකර තමන්ගේ උපරිමය යොදන්න.

කෙටි ක්‍රම සහ රහස්

එක එක විෂයයන්ට අනුව ක්‍රමවේද වෙනස්වනවා වගේම ඉගෙන ගන්නා කෙනා අනුවත් උගන්වන කෙනා අනුවත් මේවා වෙනස් වෙන්න පුවවන්. ඒක හින්දා වැඩි කල් යවන්නේ නැතුව තමන් තුලම නිවැරදි ක්‍රමයක් හොයාගන්න එක ඇඟට ගුණයි. සාර්ථක වෙච්ච චරිතයකින් ආදර්ශ ගත්තට කමක් නෑ. එයාව 100% අනුකරණය කරන්නනම් යන්න එපා. 

පසුගිය විභාග ප්‍රශ්නෝත්තර

මේවා අනිවාර්යෙන්ම කල යුතුම දෙයක්. මේක මම විතරක් නෙමේ ප්‍රශ්න පත්‍ර සකසන මහාචාර්යවරු පවා අනුමත කරන දෙයක්. අඩුම තරමේ අවුරුදු දහයකවත් ප්‍රශ්න පත්‍ර හොයාගෙන නියමිත කාලය අරගෙන උත්තර ලියලා හරිවැරදි සාකච්ඡා කරගන්න ඕනේ. විභාගය ළං වෙනකොට ආයේ පාරක් මේ වැඩේම කරන්න. මෑතකදී විෂය නිර්දේශය අලුත් වුණු හින්දා ඒ ගැනත් විශේෂයෙන් අවධානය යොමු කරනවනම් හොදයි. 

සැහැල්ලුව සහ සමබරතාව

පාසල් ජීවිතයේදී අන් කවරදාකවත්ම නැති මානසික පීඩනයක් මේ කාලයේදී දැනෙන්න පුළුවන්. ඕල්-රවුන්ඩ කෙනෙක් වීමෙන් මේ පීඩනය අඩු කර ගන්න පුළුවන්. හැබැයි හැමෝටම එහෙම බෑ. ඉතින් අනෙකුත් බාහිර ක්‍රියාකාරකම් වල පුළුවන් විදියට යෙදෙන්න. (මෙහිදි තරගකාරී තත්ත්වය අනුව නම් ලොකු දේවල් කරන්න බෑ. සිංදුවක් අහනවා, චිත්‍රපටයක් බලනවා, පොඩ්ඩක් ඇවිදින්න යනවා වගේ දෙයක් ඇරෙන්න) සාමානය පෙළ කරා වගේ නම් උසස් පෙළ  කරන්න බෑ. මොකද සාමාන්‍ය පෙළ A9 උසස් පෙළදී F3 කට වුණත් වැටෙන්න පුළුවන්.

පළමුවර අසමත්නම්

ඔබ උසස්පෙළ ගණිතය විෂයය ධාරාවෙන් පළමුවර මුහුණ දී කිසිම විෂයක් අසමත් වී නොමැති නම් ඔබ අසමත් නොවීම ගැන සතුටු වෙන්න. ඉහල ප්‍රතිඵලයක් නොලැබීමට දුක් වෙනවට වඩා හොදයි එහෙම වෙන්න හේතු ටික තමන් විසින්ම හොයාගන්න එක. ආයේ පාරක් කරනවනම් හොදට කල්පනා කරන්න මම මේක කරන්නම ඕනද කියලා. කරන්න ඕනේනම් හිත හිත ඉන්නේ නැතුව දැන්ම වැඩ පටන් ගන්න. ආයේ පාරක් රිවිෂන් යනවනම් හිත හයිය කරගෙන යන්න. "මේක වැඩක් නෑ. මම නිකන් කාලය කනවා" කියලා හිතෙන හැමවෙලාවක්ම ප්‍රයෝජනවත් වැඩකට යොදවන්න බලන්න.

අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ අ.පො.(උ/පෙ) යනු ඔබේ ජීවිතයේ එක්තරා කාල පරිච්ජේදයක් විතරයි. එතනින් පස්සේ කරන්න දේවල් ඕනේ තරම් තියෙනවා. ප්‍රතිඵලයක් ගැන හිත හිත දුක් වෙනවට වඩා තමන්ට පුළුවන් තමන් කැමති දෙයක් ගැන උනන්දු වෙන එක වටිනවා. සමහර විට ඒ දේට ගොඩක් මුදල් වැය වෙන්නත් පුළුවන් එහෙම නොවෙන්නත් පුවවන්.
යමක් කරන්න පුළුවන්ද බැරිද කියන එකෙන් වැඩක් නෑ. මොකද අපි ඉස්සෙල්ලාම උත්සහයක් දීලා බලන්න ඕනේ. එහෙම කැපවීම් කරලා අන්තිමට සාර්ථක වුණාම මාර සතුටක් දැනෙනවා. එහෙම කරලත් සාර්ථක වුනේ නැත්නම් ඒ ගැන තවත් දුක් වෙන්න එපා. තමන් කරපු දේවල් ගැන සතුටු වෙලා වෙන අතක් බලාගන්න. හැබැයි බාගෙට කැපවීම් කරලා අන්තිමේදී අසාර්ථක වුණාම දැනෙන දුක ආයේ කවදාරි මතු වෙන්න පුළුවන්.
ඔය කියමන කිව්වේ අපිට සංයුක්ත ගණිතය උගන්නපු සර් කෙනෙක්. පහල තියෙන බ්ලොග් සටහනුත් කියවලා බලන්න. මට වඩා හොදට පැහැදිලි කරලා තියෙනවා මේ සම්බන්ධව. මමත් ඒවා වලින් ගොඩක් ඉගෙනගෙන තියෙනවා.


ප.ලි.
මෙහි සදහන් කරුණු ඒ ඒ පුද්ගලයාට සාපේක්ෂව ‍වෙනස් විය හැක.  මා හදාරා ඇත්තේ ගණිත විෂය ධාරාවෙන් බැවින් අනෙකුත් විෂයය ධාරාවන්ට මෙය නොගැලපීමට පුළුවන.

Toastmaster සහ තවත් කතා

මම පොඩි කාලේ ඉදලම එක එක අය කියන කතා අහන්න ආසයි. ඇත්තටම මම කතා කරනවට වඩා මොකක් හරි එකක් අහන් ඉන්න එකයි වැඩියෙන්ම කරේ. ගෙදරදී, ඉස්කෝලේදී, පල්ලියේදී, ටියුෂන් පංතියේදී මම එක එක අය කියන කතා ආසාවෙන් අහගෙන හිටියා. දැන්නම් අන්තර්ජාලයෙන් තමා ගොඩක් අහන්නේ බලන්නේ. විශේෂයෙන් ජීවිතය සාර්ථක කර ගත්ත අයගේ ජීවිත කතා වගේම එක එක අලුත් සංකල්ප ගැන එතකොට නව නිපැයුම් ගැන තියෙන දේශන එහෙම අහගෙන ඉන්න මාර ආසයි. ඒවත් එක්ක මම විවිධ දේවල් ඉගෙන ගන්නව වගේම ඒ ඒ අයගේ ජීවිත ගැන තනියම කල්පනා කරනවා.

ඉතින් මේවා ඇහුවට පස්සේ මට හැමදාම වගේ අන්තිමට හිතෙන දෙයක් තමා මටත් ඒ වගේ කතාවක් කරන්න තිබ්බ නම් කියලා. ඒවගේ රස කර කර කියන්න පුළුවන් කමක් තිබුනනම් කියලා. හැබැයි ඉස්කෝලේ යන කාලේ ඉදලම පිරිසක් ඉදිරියේ මම කතාවක් කරලම නෑ. අවස්ථා නොලැබුණාම නෙමේ. මම ඒවා උවමනාවෙන්ම වගේ මඟ ඇරියා. දැන්නම් යන ඉංග්‍රීසි පංතියේ ටිකක් එහෙන් මෙහෙන් කතා කරනවා. ඒ ඇරෙන්න තාමත් ඒ පැත්තෙන් දුර්වල මට්ටමක ඉන්නේ.  ඉතින් යමක් කමක්  කරගන්න පුළුවන් අවස්ථාවකදී ඒ වගේ අවස්ථා වලට පයින් ගහන්න යන්න එපා.

මට අහම්බෙන් වගේ ඇහුනු ඉංග්‍රීසි වචනයක්  තමා Toastmaster කියන්නේ. ඒකේ තේරුම සිංහලෙන් "උත්සවයන්හි සව්දිය පිරීම ප්‍රකාශ කරන තැනැත්තා" යන්නයි. සරලව කිව්වොත් කථිකයා. ඇත්තටම සාර්ථක කතාවකින් පුළුවන් තමා ඉදිරියේ සිටින පිරිස තමන්ගේ ආකර්ෂණයට නතු කර ගන්න. මොකද මමත් ඒ වගේ කතා වලින් මාර තෘප්තියක් ලබල තියෙනවා. මං හිතන්නේ එවැනි කෙනෙකුට යම් තැනක නායකත්වයට වුණත් ලේසියෙන්ම පත් වෙන්න පුළුවන්. 
මම යූ ටීයුබ් එකේ එබිකම් කරනකොට හම්බුනා එක්තරා ශ්‍රී ලාංකිකයෙකුගේ ඉංග්‍රීසි කතාවක්. මේක TEDxYouth@Colombo හි පවත්වපු කතාවක්. ඒක  බැලූ බැල්මට ඉතාමත් සරල කතාවක්. නමුත් ඒකේ කියන විදිහ හා ඉදිරිපත් කරන අංග චලනයත් එක්ක මාරම තේරුමක් තියෙන කතාවක්. මේ කතාවේ අයිතිකාරයා ධනන්ජය හෙට්ටිආරච්චි.   ඔහු ගැන කියනවනම් අන්තර්ජාතික වශයෙන් කථික තරගාවලි වලදි ශ්‍රී ලංකාව නියෝජනය කරල ජයග්‍රහණ ලබපු අයෙක්. ඉතින් ඔහුගේ අපූරු කතාව පහලින් බලලා ඉන්න.


TED ගැනත් යමක් කිව යුතුයි. TED කියන්නේ මේ වගේ අලුත් දේවල් ලෝකයට ඉදිරිපත් කරන ලෝකේ පුරාම ව්‍යාප්ත වෙලා තියෙන ඉතා ජනප්‍රිය සම්මේලන පවත්වන සංවිධානයක්. TEDx කියන්නේ ස්වාධීන පිරිසක් විසින් සංවිධානය කරනු ලබන TED සම්මේලනයක්. TEDxYouth@Colombo සහ TEDxTalks@Colombo පටන් අරන් දැනට අවුරුදු කිහිපයක් වෙනවා. මේවායේ යූ ටියුබ් චැනල වලට ගිහිල්ලා බැලුවොත් ලංකාවේ තරුණ ප්‍රජාවගේ  වගේම ලොව පුරා විවිධ හැකියාවන් ඇති අයගේ බොහෝ කතා අහන්න බලන්න පුළුවන්. ෴

උසස් පෙළ වීර කාව්‍යයක්

මං මේ කියන්න හදන්නේ අ‍පි  උසස් පෙළ කරන්න හා හා පුරා ඉස්කෝලේට යන දවස් වල සිද්ධ වෙච්ච දෙයක් ගැන. පංතියටම 15 දෙනෙක් වගේ හිටියේ. ඒ අවුරුද්දේ අපේ එකෙක්වත් ජීව විද්‍යාව කලේ නෑ. ඔක්කොම ගණන්කාරයෝ. අපේ විද්‍යා/ගණිත අංශ වල පංති තිබ්බේ විද්‍යාගාර ඇතුලෙම තමා. තව දෙයක් 12 සහ 13 පංති දෙකම එක ළග තමා තිබ්බේ. ඉතින් අයියලා ටික අලුත් උන් ගැන එබිකම් කරන්න ටික ටික පටන් ගත්තා.

"මල්ලිලා ඊළග දවසේ අපිට කේක් ඕනේ." 13 වසරේ ‍ජ්‍යේෂ්ඨ උත්තමයෙක් පංතිය ඇතුලටම ඇවිල්ලා කියලා ‍ගියා. අපිත් මොකුත් කියන්න යන්න ගියේ නෑ. මොකද මිනිහා ටිකක් වාර්තා තියපු චරිතයක්.

"අපි මේ විහිළුවට නෙමේ කියන්නේ.  කේක් ඕනේ හරිද?" ඔන්න තවත් දවසක් ආවා. මිනිහා ඒ පාර ටිකක් මුහුණ රවාගෙන කිව්වා. අපි ඒත් මුකුත් කිව්වේ නෑ. ඔය අතරේ කොරිඩොව දිගේ යමින් හිටිය සර් කෙනෙක් ඇවිල්ලා අරූගේ පස්සට පාරක් දීලා ඇරියා. ඉතින් පංතිය ඉස්සරහින් අරූ ලැජ්ජාවෙන් මාරු වෙලා යද්දී අපේ එකෙක් (උසස් පෙළ කරන්න අලුතෙන්ම අපේ ඉස්කෝලේට ආපු එකෙක්) 
"ඔය හම්බුණ කේක් ඇතිද?"

සර් ගියාට පස්සේ ටික වේලාවකින් "කවුද ඒ ?" මිනිහට හරියටම කවුද කිව්වේ කියලා හොයාගන්න බෑ.
"ඔන්න ආයේ කියන්නේ නෑ කේක් ගෙනෙල්ලා"

ඔන්න දවසක් අපේ එකෙක්ගේ උපන්දිනේ. ඉතින් ඉන්ටවල් එකේදී උගේ කේක් පෙට්ටිය දිග ඇරියා. අපේ කොල්ලන්ගේ කෑම කෑමයි පොර කෑමයි අතර වෙනසක් නෑ. ඉතින් කේක් එක විතරක් නෙමේ සේරම බත් මලු ටික වේලාවකින් අතුරුදහන්. ඉතුරු වෙන්නේ ගුලි කරපු ඉදුල් පත්තර කොල ටික තමා. අපේ උපන්දිනකාරයාට  මෙතෙක් වෙලා කාටවත් ඔලුවට නාපූ සිතුවිල්ලක් එකපාරටම පහල වුණා. ඒ අපේ අයියලාගේ කාරුණික ඉල්ලීම මතක් වෙලා. ඉතින් උපන්දිනකාරයා සමග තව දෙන්නෙක් එකතු වෙලා කේක් පෙට්ටිය අරගෙන සේරම බත් ඉදුල් ඔතපු කෙහෙල් කොලත් එක්කම ඇතුලට දාලා බ්‍රවුන් පේපර් උරයකටත් දැම්මා. අනිත් උන් සියල්ල දැන් වෙන්න යන දේ පැත්තකට වෙලා බලාගෙන හිටියා. එකෙක් වීරයා වගේ කේක් පෙට්ටිය අරුන්ගේ පංතියට ගෙනහින් භාර දීලා එන ගමන් හිනා වෙවී මෙහෙම කිව්වා.
"මම පෙට්ටිය දුන්නා විතරයි උන් ඔක්කොම මුල්ලකට කන්න අරගෙන ගියා"

මිනිත්තුවක් දෙකක් ගිය තැන අපේ මැර අයියා පෙට්ටිය අතැතිව වේගයෙන් ඉදිරියට ආවා. අනිත් අයියලා ටික ඒ පිටුපසින් ආවා.

"දැන් බඩුම තමා" මට කටින් පිට නොවුණට එහෙම හිතා ගත්තා.

Image : driven2divide.com
මැර අයියා බාගෙට ඇරපු පෙට්ටිය පංතියට ඇතුළු වන තැනම පොළොවේ ගැහුවා. බත් ඇට, ඉදුල් ඔක්කොම දොරෙන් එලියට විසිරිලා ගියා.  මම කෝකටත් කියලා පංතියේ එළියේය. අපේ උන්ගේ සද්දයක් බද්දයක් නැත. අපේ මැර අයියාව ගණන් ගත්තේ නැති ගානටය. අත දිග හැර අතේ ඉතුරුව තිබුණ දෙයිනුත් කේක් පෙට්ටිය දුන්න එකාට දමලා ගැසුවේය. මුහුණේ වැදී නොවැදී ගියා. (ඇත්තටම කිසිම හානියක් වුණේ නෑ. ඒ  මදිවට ඌ හිනාවෙවිත් හිටියා.)

ඉතින් අපේ ඔෆීසියත් වැඩි ඈතක නෙමේ තිබ්බේ. මේක දැක්කා නියෝජ්‍ය විදුහල්පති. ඒ විතරක් නෙමේ විනය කටයුතු භාරව ඉන්නේත් ඔහු. වැඩේ දැන් තවත් දරුණුයි. වහාම කට්ටිය විසිරිලා ගියා. බත් ඇට කොරිඩො‍වේ එහෙම්මය.

ඔන්න විනය පරීක්ෂණ ආරම්භ කලා. අපේ සෙට් එකෙන් වෙනම ප්‍රශ්න කලා. අනෙක් පංතියෙන් වෙනම ප්‍රශ්න කලා. අපේ පැත්තෙන් කවුරු කලාද කාගේ අදහසක්ද යන කිසිවක් මොනම දෙයක්වත් කටින් පිට වුනේ නෑ. ඔහොම මුළු දවසම ගියා.

අන්තිමේදී කරුණු දෙකක් මුල් කරගෙන දෙන දඩුවම තීරණය වුණා. එකක් අලුතෙන් එන අයගෙන් කේක් ඉල්ලීම. අනෙක් කරුණ බොරුවට කේක් පෙන්වා බත් ඉදුල් කන්නට පෙළඹවීම. ඉතින් පංති දෙකටම සතියක පංති තහනමක් දුන්නා. ඒක තමා මම මගේ ජීවිතේට දැනට  ලබපු පළමු සහ එකම පංති තහනම. හැබැයි අපේ සෙට් එ‍කට නම් මේ ගැන කිසිම දුකක්වත් අනිත් උන් එක්ක බැන ගන්නවත් ගියේ නැ. බොහොම සතුටෙන් නිවාඩුව ගත කරලා ඊළග සතියේ සුපුරුදු පරිදි ඉස්කෝලේ ආවා.

කොහොමහරි කෙක් සම්ප්‍රදාය අපේ සෙට් එක බිඳ දැම්මා. අපි ආයේ කාගෙන්වත් කේක් ඉල්ලන ගියෙත් නෑ දෙන්න ගියෙත් නෑ. වැඩේ කියන්නේ එදායින් පස්සේ අයියලාත් එක්ක අපේ ෆිට් එක වැඩි වුණා. එදායින් පස්සේ උන් ඕනෙ වෙලාවක අපේ පංතියේ. අපි ඕනෙ වේලාවක උන්ගේ පංතියේ. කිසිම බාධාවක් නැතුව සාමාදානයෙන් කල් ගෙව්වා. ෴

දැනුමට යටවීම

මගේ මතකය හරි නම් මම එතකොට ඉස්කෝලේ  නමය වසරේ හෝ දහය වසරේ විතර ඇති. දවසක් අපේ ඉස්කෝලේ දේශනයක් තිබ්බා. දේශකයා වුණේ මොහාන් සමරනායක මහතා. ඔහු ඒ කාලේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්ව සිටි නියෝජිතයෙක්.(මතකය නිවැරදිනම්) දැන්නම් ඔහු රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයා. කොහොම හරි  දේශනයේ අන්තර්ගත වුණේ "එක්සත් ජාතීන්ගේ සංවිධානය" පිළිබඳව.

දේශනය අතරතුර ඔහු කිව්ව එක දෙයක් මට තාම අද වගේ මතකයි. ඒක සරල සිද්ධාන්තයක් වුණත් මම මීට ඉස්සර ඒ ගැන ගැඹුරට හිතලා තිබ්බේ නෑ. ඔහු කිව්වේ "වැඩි දැනුමක් ඇති තැනැත්තා විසින් අනෙක් අඩු දැනුමක් ඇති අයවලූන්ව පාලනය කරනවා" කියන එක. ඔහු ඒක විස්තර කලේ සංවර්ධිත රටක් විසින් තුන්වන ලෝකයේ රටක් තම පාලනයට නතු කරගැනීම වගේ සිද්ධියක් උදාහරණයට අරගෙන. එතනින් පස්සේ මම ඇත්තටම ඒ ගැන තනිවම කල්පනා කරා. අපි සමාගමක් දිහා බැලුවොත් මේ සිද්ධිය හොදටම පැහැදිලි වෙනවා. සමාගමක පරිපාලනය ගැන සලකා බැලුවොත් එහි ඉහලම ස්ථානයේ ඉන්නේ කළමණාකාරීත්වය. එතැන් පටන් ක්‍රමයෙන් පහළ මට්ටමේ සුළු සේවකයා දක්වා තනතුරු ගණනාවක් තියෙනවා. ඉතින් අඳාළ සමාග‍ම හසුරුවන විෂය ක්ෂේත්‍රය පිළිබඳ දැනුම් මට්ටම සැලකුවොත් කළමණාකාරීත්වයේ සිට සුළු සේවකයා දක්වා ක්‍රමයෙන් අඩු වීගෙන යනවා.


ඇත්තම කිව්වොත් අනෙක් අයට සිද්ධ වෙනවා දැනුමෙන් ඉදිරියෙන් සිටින පුද්ගලයාට "බොස්" කියා කියන්නට. පවුල් ඒකකයක් සැලකුවොත් එහි දරුවන් දෙමව්පිය පාලනයට නතු වෙනවා. සමහරවිට දරුවන් දෙමව්පියන්ට වඩා න්‍යායික අධ්‍යපනයෙන් සන්නද්ධව සිටියත් සමාජ අත්දැකීම් එක්ක බලනකොට දරුවන් අඩු මට්ටමකයි ඉන්නේ. ඉතින් ඒ විදියට බැලුවම මේක ස්වාභාව ධර්මයෙන්ම උරුම වෙච්ච දෙයක් කියලයි මට හිතෙන්නේ ෴

Follow by Email

Profile

My photo

a Human, a Sri Lankan, a Sinhalese, Roman Catholic, an Engineering undergraduate

Followers

Download Sinhala Fonts

- Copyright © Shiroshan's Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -