Archive for February 2014

ලාංකීය යූටියුබ්කරුවෝ

ලංකාවේ ඇලෙක්සා ශ්‍රේණි ගත කිරීම් අනුව Google, Facebook, YouTube සහ Blogspot යන වෙබ් අඩවි ටික තමා ඉහලින්ම තියෙන්නේ. ඒ අතරින් YouTube විශේෂයි. යූටියුබ් කියන්නේ නිකම්ම වීඩියෝ එකතුවක් විතරක් නෙමේ. ඒක දැන් ප්‍රමුඛ පෙළේ සමාජ ජාල (Social Network) අඩවියක්. අනෙක් අතට ඒක වීඩියෝ බ්ලොග් (Video Blogging) කලාවක් දක්වාම දියුණු වෙලා. ඒ කියන්නේ අපි බ්ලොග් එකක් ලියනවා වගේ මෙහිදී අපේම කියලා චැනල් එකක් පටන් අරන් තමන්ගේ ස්වයං ප්‍රකාශනය වීඩියෝවක් විදියට අන්තර්ජාලයට මුදා හරින්න පුළුවන්. ඉතින් මේ වගේ චැනල් මිලියන ගණනක් ලොවපුරා පුද්ගලයින් මෙහෙවනවා.


දැන් මම කියන්නේ ඒ අති විශාල යූටියුබ් චැනල් කන්දරාව අතරින් ජනප්‍රිය සහ මගේ හිත ගිය ශ්‍රී ලාංකික යූටියුබ් චැනල කීපයක් ගැන.

Jehanr

මේ තියෙන්නේ දැනට වැඩිම ජනප්‍රියතාවක් සහිත ශ්‍රී ලාංකීක යූටියුබ් චැනලය. ජනප්‍රියතාව කොතෙක්ද කියනවනම්  Rewind YouTube Style 2012 වීඩියෝව සදහා පෙනී සිටින්නත් මේ චැනලයේ නිර්මාපක ජෙහාන් රණතුංගට අවස්ථාව ලැබෙනවා. මොහු ගැන කියනවනම් ලංකාවේ ඉපදිලා ඕස්ට්‍රෙලියාවේ හැදිලා වැඩිලා දැන් ඇමරිකාවේ ඉන්න තරුණයෙක්. ඔහුගේ හැම වීඩියෝවක්ම නිර්මාණය වෙන්නේ ශ්‍රී ලාංකිකයා මුල් කරගෙනයි. ඒ වගේම ඉංග්‍රීසිය මව්බස නොවන්නෙකුගේ  (ඉන්දියානු උප මහද්වීපයේ වෙසෙන්නෙකුගේ) කතා විලාසය මෙහිදී විශේෂයෙන් කැපී පෙනෙනවා. ‍

Gappiya Pictures

මේ තවත් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකීකයෙක්. ඔහුගේ අන්වර්ථ නාමය ගප්පියා. ඔහු විදේශගත වූ ජීවිතයක සිතුවිලි වෙනස්ම විදියකට ඉදිරිපත් කරන චරිතයක්. කතාවක එන සියළුම චරිත තමන්ට ආරූඪ කරගැනීමේ අපූරු හැකියාවක් ඔහුට තියෙනවා. සංස්කරණය පැත්තෙනුන් ඉහල මට්ටමක  ඔහුගේ වීඩියෝ තියෙනවා. විටෙක සිනහවත් විටෙක හිතන්න යමකුත් ඔහුගේ නිර්මාණ තුල අන්තර්ගතයි. ඒත් එක්කම අමුතු කලාත්මක ගතියකුත් තියෙනවා.

Kushan Srimal Show

සරලවම කිව්වොත් ලංකාවේම ඉන්න කොල්ලෝ දෙන්නෙක්ගේ වැඩක්. ඔවුන් නමින් කුෂාන් සහ ශ්‍රීමාල්. මේ දෙන්නට නිතරම සහය වෙන්නේ සොයුරු චමිඳු. ඔවුන් වීඩියෝවක් නිර්මාණය කිරීමට තමන්ගේ හැකියාවන් සහ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න බවක් පේනවා. ප්‍රහසනය ඔවුන්ගේ සෑම වීඩියෝවකම අනිවාර්යයි. විශේෂත්වය ඔවුන්ගේ හැකියාවන් පුළුල් පරාසයක තිබීමයි. ඔවුන්ගේ ක්‍රියාදාම දර්ශනත් ඉහල මට්ටමක තියෙනවා. දැන් දැන් සංස්කරණය අතිනුත් සෑහෙන දියුණු මට්ටමක ඉන්නවා. මීට අමතරව ඔවුන්ට Sights with Kushan and Srimal සහ KushanSrimal 2nd Channel යනුවෙන් තවත් චැනල් දෙකක් තියෙනවා.

VideoKatha

මං හිතන විදියට මේ තවත් විදේශගත වූ ලාංකිකයෙක්. ඔහු නමින් සම්පත්. මේක අධ්‍යාපනික වශයෙන් ලොකු වටිනාකමක් සහිත යූටියුබ් චැනලයක්. ඔහුගේ චැනලය තුල විවිධ වූ මාතෘකා සාකච්ඡා කෙරෙනවා. එදිනෙදා සිදධින් මෙන්ම විද්‍යා හා තාක්ෂණික කරුණු පවා ඉතා සරලව ඉදිරිපත් කරන්න ඔහුට හැකියාව තියෙනවා.

Bored Without War (යුද්දේ නැතුව පාළුයි)

මේක ලංකාවේ තරුණයින් කීපදෙනෙකුගේ වැඩක්.  කියන්න තියෙන දේ කෙලින්ම කියන්න උත්සහ දරන කට්ටියක්. "පශ්චාත් යුධ සමයේ ලංකාව" තමා ඔවුන්ගේ ප්‍රධාන මාතෘකාව. මේ චැනලයට විවේචන වලින් නම් අඩුවක් නෑ. දාලා තියෙන ප්‍රතිචාර බැලුවොත්නම් තෙරෙයි ඒක. කාලීන සිදුවීම් ගොඩක් ඔවුන්ගේ කතාව යටින් ගලාගෙන යනවා. ගොඩක්ම වෙනස් විදියේ කතා මාලාවක් (Documentary Series). 

ඉතින් ඔය තියෙන්නේ මට අහම්බෙන් හමුවුණු ලංකාවේ අය පවත්වාගෙන යන යූටියුබ් චැනල් පහක්. මේවා දැනට හම්බවුණු හොදයි කියලා හිතෙන ඒවායින් කීපයක්. මීට අමතරව මඟ හැරුණු ඒවා තිබුණොත් ඒවත් දාලා මේ ලිපිය පසුව යාවත්කාලීන කරන්නම්. ෴

පුංචි පහේ මං ශිෂ්‍යත්වය ලියපු හැටි

ශිෂ්‍යත්වයක් ගැන මට මුලින්ම අහන්න ලැබුණේ 3 වසරේදි. 4 වසර විතර වෙනකොට අපේ ඉස්කෝලේ සවස් වරුවේ ඒ කියන්නේ ඉස්කෝලේ වෙලාවෙන් පස්සේ උපකාරක පංතියක් තිබ්බා. මේකෙදි එක එක විෂයයන්ට අමතරව සාමාන්‍ය දැනීම ප්‍රශ්න සාකච්ඡා කරනවා. කොච්චර පුළුල් පරාසයක ප්‍රශ්න කතා කරාද කිව්වොත් සමහර දවස් වලට ගිනි පෙට්ටියක ගිනි කූරු කීයක් තියෙනවද වගේ ප්‍රශ්නත් කතා කරා. විකාර වගේ හිතුණත් මම වැඩියෙන්ම කැමති ඒ වගේ ප්‍රශ්න ගැන කල්පනා කරන්න රචනා ලියනවට, ගණන් හදනවට වඩා. අනිත් එක තමා අනුමාන ප්‍රශ්න පත්‍ර. ඒ තරම් ප්‍රශ්න පත්‍ර ගොඩක් මම සාමාන්‍ය පෙළටවත් ලිව්වේ නෑ. 

ඒ ‍‍කාලේ ගම්පහ දිස්ත්‍රික්කෙන් ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු ගියේ එකසිය තිස් ගණන් වලින්. ඉතින් දවසක් අපේ පංතියට ආපු ටීචර් කෙනෙක් කිව්වා. 150 ක්වත් ගත්තොත් වැඩේ ගොඩ කියලා. ඉතින් එදායින් පස්සේ "පුතා ශිෂ්‍යත්වෙට කීයක් ගන්නවද?" මම කියන්නේ 150යි කියලා. ඒක මට ඔහේ කියවෙනවා. නමුත් ඊට වඩා වැඩි ලකුණු ගාණක් තිබුණොත් හොදයි කියලා මගේ හිතේ තිබ්බා.

Image Credit: lankanewspapers.com
අපේ අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගය තිබ්බේ දෙසැම්බරයේ සාමාන්‍ය පෙළ අස්සේ. මට හිතෙන විදියට 1992 සහ 1993 අවුරුදු වල ඉපදුණු කට්ටිය මෑත කාලයේ අධ්‍යාපන ක්‍රමයේදී විශේෂයෙන් කතාබහට ලක්වුණ කට්ටියක්. මොකද මමද ඇතුළුව මේ කට්ටියට එතෙක් ඒකාකාරීව පැවතුණු රටාවට හාත්පසින් වෙනස් දේවල් වලට මුහුණ දෙන්න සිදුවුණා. මේ පහතින් තියෙන්නේ ඒවායින් කීපයක්

  1. 2003 දී ශීෂ්‍යත්වය දෙසැම්බර් මාසයේ පැවත්වීම
  2. 2004 දී බහු පෙළපොත් ක්‍රමයක් ඇති වීම
  3. 2007 දී සාමාන්‍ය පෙළ විෂය නිර්දේශ මුළුමනින්ම අලුත් වීම
  4. උසස් පෙළ විෂය නිර්දේශ විටින් විට අලුත් වීම. (රසායන විද්‍යාව විශේෂයි)
  5. 2011 උසස් පෙළ Z අර්බුදය සහ නව-පැරණි නිර්දේශ ගැටුම
  6. 2012 උසස් පෙළ ප්‍රතිඵල සමීක්ෂණය දින නියමයක් නොමැතිව කල්යාම
  7. 2011-2012 රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුළු වීම සඳහා කාලය අනිසි ලෙස දිග්ගැස්සීම සහ නායකත්ව පුහුණුවක් කරලියට පැමිණීම

කොහොම හරි ප්‍රතිඵල ආවේ අපි 6 වසරටත් ඇතුළු වෙලා මාස කීපයක් ගියාට පස්සේ. ඒ කාලේ අපිට ඉන්ටනෙට් නෑනේ. අදුරන අයියා කෙ‍නෙක් ලව්වා ලකුණු බලවා ගත්තා. මෙන්න ලකුණු 151 යි හරියටම. මට ටිකත් පුදුමත් හිතුණා. මොකද හැමදාම "එකසිය පනහයි" කිය කිය හිටිය මට කෙස් ගහකින් විතර වැඩි වෙලා ලකුණු ඇවිල්ලා. කොහොම හරි පස්සේ දැනගත්තා ඉස්කෝලෙන්ම දෙවැනියා කියලා.

ඉතින් ඊට පස්සේ කතාබහට ලක්වෙන මාතෘකාව වෙන්නේ මොන ඉස්කොලෙටද යන්නේ කියලනේ. තෝරන්න දීපු ඉස්කෝල ලැයිස්තුවේ තිබුණ විදියට මගේ ලකුණු පරාසයට කොළඹ ජනප්‍රිය පාසල් 4ක් තිබ්බා. ඔය මොන ඒවා ආවත් ඒ කාලේ මට උණක් තිබ්බේ අයියා යන ඉස්කොලේටම යනවා කියලා. ඒ කියන්නේ මම හිටිය ඉස්කොලේම ද්වීතියික අංශයට.  ඉතින් කොහොමෙන් හරි දුර යනවට වඩා ළග තියෙන දේ හොදයි කියලා ඒකටම ගියා.

ජනප්‍රිය පාසලකට නොගියට ශිෂ්‍යාධාර නම් හම්බුණා. ශීෂ්‍යාධාර දෙන්නේ මාසික වැටුප යම් ප්‍රමාණයක උපරිමයක් දක්වා විතරයි. ඒ උපරිමය කීයද කියලා මට හරියට මතක නෑ. හැබැයි බහුතරය ඒ උපරිමය ඉක්මවන වැටුපක් ලබන පවුල් වල අය තමා හිටියේ. ඉතින් කොහොම හරි අඳාළ සහතික පෙන්නුවට පස්සේ රු.200 ක් හැම මාසෙම මගේ අතට දුන්නා. පස්සේ මේක ඒ කාලේ තිබුණ උද්ඝෝෂණයක් හින්දද කොහෙද රූ.500ක් දක්වා ඉහල දැම්මා. තවත් කාලයක් ගියාට  පස්සේ මේක අතට දෙන එක නවත්තලා අපේ නමින් බැංකු ගිණුමකට බැර කලා. ඉතින් කොහොම හරි සාමාන්‍ය පෙළ ඉවර වෙනකම්ම හම්බ වුණා. උසස් පෙළටත් ඉල්ලගන්න කියලා ඉස්කෝලෙන් කිව්වට ග්‍රාම සේවක සහතික ගන්න ආයේ යන්න එපෑ. අනිත් එක ඔය කියන උපරිම මාසික වැටුපත් ඉක්මවූ වැටුපක් තමා අපේ ගෙදරට ලැබෙන්නේ. ඉතින් මොකටද තවත් ඉල්ල ඉල්ල යන්නේ.

ඉතින් ඔය කතන්දර ඔක්කොම ඉවර වෙලා පස්සේ තමා මට තේරන්නේ මේක නිකන්ම සාමාන්‍ය දැනීම වගේ ප්‍රශ්න පත්‍රයක් කියලා. ඒත් දැන් ඒක තරග විභාගයක් මට්ටමට ඇවිල්ලා. කවුරු කො‍හොම කිව්වත් දැන් මේක ළමයින්ටත් දෙමාපියන්ටත් ගුරුවරුන්ටත් අමතර පීඩනයක් වෙලා ඉවරයි. සෑම පාසලක්ම අත්‍යවශ්‍ය පහසුකම් සියල්ලෙන් සමන්විත කරවීම සහ එකම ප්‍රමිතියකට පාලනය වීම මේකට තියෙන සරලම විසඳුම කියලයි මට හිතෙන්නේ. ඉතින් එහෙම දෙයක් ඇත්තටම සිද්ධ වෙනවනම් ශීෂ්‍යත්ව විභාගයක් ‍තවදුරටත් අවශ්‍ය වෙන එකක් නෑ. හැබැයි පළමු පියවර තබන්න කලින් දෙවන පියවර තබන්න යන එකනම් නිෂ්ඵලයි. ෴

Follow by Email

Profile

My photo

a Human, a Sri Lankan, a Sinhalese, Roman Catholic, an Engineering undergraduate

Followers

Download Sinhala Fonts

- Copyright © Shiroshan's Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -