Posted by : Shiroshan Randika Friday, December 13, 2013

මං මේ කියන්න හදන්නේ අ‍පි  උසස් පෙළ කරන්න හා හා පුරා ඉස්කෝලේට යන දවස් වල සිද්ධ වෙච්ච දෙයක් ගැන. පංතියටම 15 දෙනෙක් වගේ හිටියේ. ඒ අවුරුද්දේ අපේ එකෙක්වත් ජීව විද්‍යාව කලේ නෑ. ඔක්කොම ගණන්කාරයෝ. අපේ විද්‍යා/ගණිත අංශ වල පංති තිබ්බේ විද්‍යාගාර ඇතුලෙම තමා. තව දෙයක් 12 සහ 13 පංති දෙකම එක ළග තමා තිබ්බේ. ඉතින් අයියලා ටික අලුත් උන් ගැන එබිකම් කරන්න ටික ටික පටන් ගත්තා.

"මල්ලිලා ඊළග දවසේ අපිට කේක් ඕනේ." 13 වසරේ ‍ජ්‍යේෂ්ඨ උත්තමයෙක් පංතිය ඇතුලටම ඇවිල්ලා කියලා ‍ගියා. අපිත් මොකුත් කියන්න යන්න ගියේ නෑ. මොකද මිනිහා ටිකක් වාර්තා තියපු චරිතයක්.

"අපි මේ විහිළුවට නෙමේ කියන්නේ.  කේක් ඕනේ හරිද?" ඔන්න තවත් දවසක් ආවා. මිනිහා ඒ පාර ටිකක් මුහුණ රවාගෙන කිව්වා. අපි ඒත් මුකුත් කිව්වේ නෑ. ඔය අතරේ කොරිඩොව දිගේ යමින් හිටිය සර් කෙනෙක් ඇවිල්ලා අරූගේ පස්සට පාරක් දීලා ඇරියා. ඉතින් පංතිය ඉස්සරහින් අරූ ලැජ්ජාවෙන් මාරු වෙලා යද්දී අපේ එකෙක් (උසස් පෙළ කරන්න අලුතෙන්ම අපේ ඉස්කෝලේට ආපු එකෙක්) 
"ඔය හම්බුණ කේක් ඇතිද?"

සර් ගියාට පස්සේ ටික වේලාවකින් "කවුද ඒ ?" මිනිහට හරියටම කවුද කිව්වේ කියලා හොයාගන්න බෑ.
"ඔන්න ආයේ කියන්නේ නෑ කේක් ගෙනෙල්ලා"

ඔන්න දවසක් අපේ එකෙක්ගේ උපන්දිනේ. ඉතින් ඉන්ටවල් එකේදී උගේ කේක් පෙට්ටිය දිග ඇරියා. අපේ කොල්ලන්ගේ කෑම කෑමයි පොර කෑමයි අතර වෙනසක් නෑ. ඉතින් කේක් එක විතරක් නෙමේ සේරම බත් මලු ටික වේලාවකින් අතුරුදහන්. ඉතුරු වෙන්නේ ගුලි කරපු ඉදුල් පත්තර කොල ටික තමා. අපේ උපන්දිනකාරයාට  මෙතෙක් වෙලා කාටවත් ඔලුවට නාපූ සිතුවිල්ලක් එකපාරටම පහල වුණා. ඒ අපේ අයියලාගේ කාරුණික ඉල්ලීම මතක් වෙලා. ඉතින් උපන්දිනකාරයා සමග තව දෙන්නෙක් එකතු වෙලා කේක් පෙට්ටිය අරගෙන සේරම බත් ඉදුල් ඔතපු කෙහෙල් කොලත් එක්කම ඇතුලට දාලා බ්‍රවුන් පේපර් උරයකටත් දැම්මා. අනිත් උන් සියල්ල දැන් වෙන්න යන දේ පැත්තකට වෙලා බලාගෙන හිටියා. එකෙක් වීරයා වගේ කේක් පෙට්ටිය අරුන්ගේ පංතියට ගෙනහින් භාර දීලා එන ගමන් හිනා වෙවී මෙහෙම කිව්වා.
"මම පෙට්ටිය දුන්නා විතරයි උන් ඔක්කොම මුල්ලකට කන්න අරගෙන ගියා"

මිනිත්තුවක් දෙකක් ගිය තැන අපේ මැර අයියා පෙට්ටිය අතැතිව වේගයෙන් ඉදිරියට ආවා. අනිත් අයියලා ටික ඒ පිටුපසින් ආවා.

"දැන් බඩුම තමා" මට කටින් පිට නොවුණට එහෙම හිතා ගත්තා.

Image : driven2divide.com
මැර අයියා බාගෙට ඇරපු පෙට්ටිය පංතියට ඇතුළු වන තැනම පොළොවේ ගැහුවා. බත් ඇට, ඉදුල් ඔක්කොම දොරෙන් එලියට විසිරිලා ගියා.  මම කෝකටත් කියලා පංතියේ එළියේය. අපේ උන්ගේ සද්දයක් බද්දයක් නැත. අපේ මැර අයියාව ගණන් ගත්තේ නැති ගානටය. අත දිග හැර අතේ ඉතුරුව තිබුණ දෙයිනුත් කේක් පෙට්ටිය දුන්න එකාට දමලා ගැසුවේය. මුහුණේ වැදී නොවැදී ගියා. (ඇත්තටම කිසිම හානියක් වුණේ නෑ. ඒ  මදිවට ඌ හිනාවෙවිත් හිටියා.)

ඉතින් අපේ ඔෆීසියත් වැඩි ඈතක නෙමේ තිබ්බේ. මේක දැක්කා නියෝජ්‍ය විදුහල්පති. ඒ විතරක් නෙමේ විනය කටයුතු භාරව ඉන්නේත් ඔහු. වැඩේ දැන් තවත් දරුණුයි. වහාම කට්ටිය විසිරිලා ගියා. බත් ඇට කොරිඩො‍වේ එහෙම්මය.

ඔන්න විනය පරීක්ෂණ ආරම්භ කලා. අපේ සෙට් එකෙන් වෙනම ප්‍රශ්න කලා. අනෙක් පංතියෙන් වෙනම ප්‍රශ්න කලා. අපේ පැත්තෙන් කවුරු කලාද කාගේ අදහසක්ද යන කිසිවක් මොනම දෙයක්වත් කටින් පිට වුනේ නෑ. ඔහොම මුළු දවසම ගියා.

අන්තිමේදී කරුණු දෙකක් මුල් කරගෙන දෙන දඩුවම තීරණය වුණා. එකක් අලුතෙන් එන අයගෙන් කේක් ඉල්ලීම. අනෙක් කරුණ බොරුවට කේක් පෙන්වා බත් ඉදුල් කන්නට පෙළඹවීම. ඉතින් පංති දෙකටම සතියක පංති තහනමක් දුන්නා. ඒක තමා මම මගේ ජීවිතේට දැනට  ලබපු පළමු සහ එකම පංති තහනම. හැබැයි අපේ සෙට් එ‍කට නම් මේ ගැන කිසිම දුකක්වත් අනිත් උන් එක්ක බැන ගන්නවත් ගියේ නැ. බොහොම සතුටෙන් නිවාඩුව ගත කරලා ඊළග සතියේ සුපුරුදු පරිදි ඉස්කෝලේ ආවා.

කොහොමහරි කෙක් සම්ප්‍රදාය අපේ සෙට් එක බිඳ දැම්මා. අපි ආයේ කාගෙන්වත් කේක් ඉල්ලන ගියෙත් නෑ දෙන්න ගියෙත් නෑ. වැඩේ කියන්නේ එදායින් පස්සේ අයියලාත් එක්ක අපේ ෆිට් එක වැඩි වුණා. එදායින් පස්සේ උන් ඕනෙ වෙලාවක අපේ පංතියේ. අපි ඕනෙ වේලාවක උන්ගේ පංතියේ. කිසිම බාධාවක් නැතුව සාමාදානයෙන් කල් ගෙව්වා. ෴

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Follow by Email

Profile

My photo

a Human, a Sri Lankan, a Sinhalese, Roman Catholic, an Engineering undergraduate

Followers

Download Sinhala Fonts

- Copyright © Shiroshan's Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -