- Back to Home »
- 2014 , අධ්‍යාපනය , ජීවිතය , තරග , පාසල , විභාග , ශිෂ්‍යත්වය »
- පුංචි පහේ මං ශිෂ්‍යත්වය ලියපු හැටි
Posted by : Shirosh
Tuesday, February 11, 2014
ශිෂ්‍යත්වයක් ගැන මට මුලින්ම අහන්න ලැබුණේ 3 වසරේදි. 4 වසර විතර වෙනකොට අපේ ඉස්කෝලේ සවස් වරුවේ ඒ කියන්නේ ඉස්කෝලේ වෙලාවෙන් පස්සේ උපකාරක පංතියක් තිබ්බා. මේකෙදි එක එක විෂයයන්ට අමතරව සාමාන්‍ය දැනීම ප්‍රශ්න සාකච්ඡා කරනවා. කොච්චර පුළුල් පරාසයක ප්‍රශ්න කතා කරාද කිව්වොත් සමහර දවස් වලට ගිනි පෙට්ටියක ගිනි කූරු කීයක් තියෙනවද වගේ ප්‍රශ්නත් කතා කරා. විකාර වගේ හිතුණත් මම වැඩියෙන්ම කැමති ඒ වගේ ප්‍රශ්න ගැන කල්පනා කරන්න රචනා ලියනවට, ගණන් හදනවට වඩා. අනිත් එක තමා අනුමාන ප්‍රශ්න පත්‍ර. ඒ තරම් ප්‍රශ්න පත්‍ර ගොඩක් මම සාමාන්‍ය පෙළටවත් ලිව්වේ නෑ.
ඒ කාලේ ගම්පහ දිස්ත්‍රික්කෙන් ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු ගියේ එකසිය තිස් ගණන් වලින්. ඉතින් දවසක් අපේ පංතියට ආපු ටීචර් කෙනෙක් කිව්වා. 150 ක්වත් ගත්තොත් වැඩේ ගොඩ කියලා. ඉතින් එදායින් පස්සේ "පුතා ශිෂ්‍යත්වෙට කීයක් ගන්නවද?" මම කියන්නේ 150යි කියලා. ඒක මට ඔහේ කියවෙනවා. නමුත් ඊට වඩා වැඩි ලකුණු ගාණක් තිබුණොත් හොදයි කියලා මගේ හිතේ තිබ්බා.
අපේ අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගය තිබ්බේ දෙසැම්බරයේ සාමාන්‍ය පෙළ අස්සේ. මට හිතෙන විදියට 1992 සහ 1993 අවුරුදු වල ඉපදුණු කට්ටිය මෑත කාලයේ අධ්‍යාපන ක්‍රමයේදී විශේෂයෙන් කතාබහට ලක්වුණ කට්ටියක්. මොකද මමද ඇතුළුව මේ කට්ටියට එතෙක් ඒකාකාරීව පැවතුණු රටාවට හාත්පසින් වෙනස් දේවල් වලට මුහුණ දෙන්න සිදුවුණා. මේ පහතින් තියෙන්නේ ඒවායින් කීපයක්
Image Credit: lankanewspapers.com |
- 2003 දී ශීෂ්‍යත්වය දෙසැම්බර් මාසයේ පැවත්වීම
- 2004 දී බහු පෙළපොත් ක්‍රමයක් ඇති වීම
- 2007 දී සාමාන්‍ය පෙළ විෂය නිර්දේශ මුළුමනින්ම අලුත් වීම
- උසස් පෙළ විෂය නිර්දේශ විටින් විට අලුත් වීම. (රසායන විද්‍යාව විශේෂයි)
- 2011 උසස් පෙළ Z අර්බුදය සහ නව-පැරණි නිර්දේශ ගැටුම
- 2012 උසස් පෙළ ප්‍රතිඵල සමීක්ෂණය දින නියමයක් නොමැතිව කල්යාම
- 2011-2012 රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුළු වීම සඳහා කාලය අනිසි ලෙස දිග්ගැස්සීම සහ නායකත්ව පුහුණුවක් කරලියට පැමිණීම
කොහොම හරි ප්‍රතිඵල ආවේ අපි 6 වසරටත් ඇතුළු වෙලා මාස කීපයක් ගියාට පස්සේ. ඒ කාලේ අපිට ඉන්ටනෙට් නෑනේ. අදුරන අයියා කෙනෙක් ලව්වා ලකුණු බලවා ගත්තා. මෙන්න ලකුණු 151 යි හරියටම. මට ටිකත් පුදුමත් හිතුණා. මොකද හැමදාම "එකසිය පනහයි" කිය කිය හිටිය මට කෙස් ගහකින් විතර වැඩි වෙලා ලකුණු ඇවිල්ලා. කොහොම හරි පස්සේ දැනගත්තා ඉස්කෝලෙන්ම දෙවැනියා කියලා.
ඉතින් ඊට පස්සේ කතාබහට ලක්වෙන මාතෘකාව වෙන්නේ මොන ඉස්කොලෙටද යන්නේ කියලනේ. තෝරන්න දීපු ඉස්කෝල ලැයිස්තුවේ තිබුණ විදියට මගේ ලකුණු පරාසයට කොළඹ ජනප්‍රිය පාසල් 4ක් තිබ්බා. ඔය මොන ඒවා ආවත් ඒ කාලේ මට උණක් තිබ්බේ අයියා යන ඉස්කොලේටම යනවා කියලා. ඒ කියන්නේ මම හිටිය ඉස්කොලේම ද්වීතියික අංශයට. ඉතින් කොහොමෙන් හරි දුර යනවට වඩා ළග තියෙන දේ හොදයි කියලා ඒකටම ගියා.
ජනප්‍රිය පාසලකට නොගියට ශිෂ්‍යාධාර නම් හම්බුණා. ශීෂ්‍යාධාර දෙන්නේ මාසික වැටුප යම් ප්‍රමාණයක උපරිමයක් දක්වා විතරයි. ඒ උපරිමය කීයද කියලා මට හරියට මතක නෑ. හැබැයි බහුතරය ඒ උපරිමය ඉක්මවන වැටුපක් ලබන පවුල් වල අය තමා හිටියේ. ඉතින් කොහොම හරි අඳාළ සහතික පෙන්නුවට පස්සේ රු.200 ක් හැම මාසෙම මගේ අතට දුන්නා. පස්සේ මේක ඒ කාලේ තිබුණ උද්ඝෝෂණයක් හින්දද කොහෙද රූ.500ක් දක්වා ඉහල දැම්මා. තවත් කාලයක් ගියාට පස්සේ මේක අතට දෙන එක නවත්තලා අපේ නමින් බැංකු ගිණුමකට බැර කලා. ඉතින් කොහොම හරි සාමාන්‍ය පෙළ ඉවර වෙනකම්ම හම්බ වුණා. උසස් පෙළටත් ඉල්ලගන්න කියලා ඉස්කෝලෙන් කිව්වට ග්‍රාම සේවක සහතික ගන්න ආයේ යන්න එපෑ. අනිත් එක ඔය කියන උපරිම මාසික වැටුපත් ඉක්මවූ වැටුපක් තමා අපේ ගෙදරට ලැබෙන්නේ. ඉතින් මොකටද තවත් ඉල්ල ඉල්ල යන්නේ.
ඉතින් ඔය කතන්දර ඔක්කොම ඉවර වෙලා පස්සේ තමා මට තේරන්නේ මේක නිකන්ම සාමාන්‍ය දැනීම වගේ ප්‍රශ්න පත්‍රයක් කියලා. ඒත් දැන් ඒක තරග විභාගයක් මට්ටමට ඇවිල්ලා. කවුරු කොහොම කිව්වත් දැන් මේක ළමයින්ටත් දෙමාපියන්ටත් ගුරුවරුන්ටත් අමතර පීඩනයක් වෙලා ඉවරයි. සෑම පාසලක්ම අත්‍යවශ්‍ය පහසුකම් සියල්ලෙන් සමන්විත කරවීම සහ එකම ප්‍රමිතියකට පාලනය වීම මේකට තියෙන සරලම විසඳුම කියලයි මට හිතෙන්නේ. ඉතින් එහෙම දෙයක් ඇත්තටම සිද්ධ වෙනවනම් ශීෂ්‍යත්ව විභාගයක් තවදුරටත් අවශ්‍ය වෙන එකක් නෑ. හැබැයි පළමු පියවර තබන්න කලින් දෙවන පියවර තබන්න යන එකනම් නිෂ්ඵලයි. ෴
අපිට නම් ශිෂ්‍යත්වය කියල එහෙමට පීඩනයක් තිබුනෙම නෑ. පහුගිය කාලේ ඕක ලියපු පොඩි උන්ගෙ පේපර් එහෙම බලන කොට මට නම් හිතුනේ ඒ වයසේ හැටියට ඒවා සංකීර්ණ වැඩියි නේද කියල. පාන්දර හතරට බස් ඒකෙ ඉස්කෝලේ යන පහේ පන්තියේ පැටව් මං දැකල තියනවා. ටියුෂනුත් ගිහිල්ල ආපහු ගෙදර එනකොට හෙම්බත් වෙලා. ළමයි රොබෝලා වෙලා.
ReplyDeleteඔව් ඒක ඇත්ත. ඇත්ප්‍රාථමික අංශයකට ගැලපෙන්නේ නියමිත ක්‍රමවේදයකට නිදහසේ ගලායන අධ්‍යාපනයක්. ශිෂ්‍යත්වය නිසා මේ ගලායාමට බාධාවක් වෙලා කියලයි මට හිතෙන්නේ. මොනවා වුනත් අපේ ගෙදරින්නම් කිසිම වෙලාවක විභාගයක් පාස් වෙයං කියලා තර්ජන එල්ල වුණේ නෑ.
Delete