Showing posts with label වීඩියෝ. Show all posts

ලාංකීය යූටියුබ්කරුවෝ

ලංකාවේ ඇලෙක්සා ශ්‍රේණි ගත කිරීම් අනුව Google, Facebook, YouTube සහ Blogspot යන වෙබ් අඩවි ටික තමා ඉහලින්ම තියෙන්නේ. ඒ අතරින් YouTube විශේෂයි. යූටියුබ් කියන්නේ නිකම්ම වීඩියෝ එකතුවක් විතරක් නෙමේ. ඒක දැන් ප්‍රමුඛ පෙළේ සමාජ ජාල (Social Network) අඩවියක්. අනෙක් අතට ඒක වීඩියෝ බ්ලොග් (Video Blogging) කලාවක් දක්වාම දියුණු වෙලා. ඒ කියන්නේ අපි බ්ලොග් එකක් ලියනවා වගේ මෙහිදී අපේම කියලා චැනල් එකක් පටන් අරන් තමන්ගේ ස්වයං ප්‍රකාශනය වීඩියෝවක් විදියට අන්තර්ජාලයට මුදා හරින්න පුළුවන්. ඉතින් මේ වගේ චැනල් මිලියන ගණනක් ලොවපුරා පුද්ගලයින් මෙහෙවනවා.


දැන් මම කියන්නේ ඒ අති විශාල යූටියුබ් චැනල් කන්දරාව අතරින් ජනප්‍රිය සහ මගේ හිත ගිය ශ්‍රී ලාංකික යූටියුබ් චැනල කීපයක් ගැන.

Jehanr

මේ තියෙන්නේ දැනට වැඩිම ජනප්‍රියතාවක් සහිත ශ්‍රී ලාංකීක යූටියුබ් චැනලය. ජනප්‍රියතාව කොතෙක්ද කියනවනම්  Rewind YouTube Style 2012 වීඩියෝව සදහා පෙනී සිටින්නත් මේ චැනලයේ නිර්මාපක ජෙහාන් රණතුංගට අවස්ථාව ලැබෙනවා. මොහු ගැන කියනවනම් ලංකාවේ ඉපදිලා ඕස්ට්‍රෙලියාවේ හැදිලා වැඩිලා දැන් ඇමරිකාවේ ඉන්න තරුණයෙක්. ඔහුගේ හැම වීඩියෝවක්ම නිර්මාණය වෙන්නේ ශ්‍රී ලාංකිකයා මුල් කරගෙනයි. ඒ වගේම ඉංග්‍රීසිය මව්බස නොවන්නෙකුගේ  (ඉන්දියානු උප මහද්වීපයේ වෙසෙන්නෙකුගේ) කතා විලාසය මෙහිදී විශේෂයෙන් කැපී පෙනෙනවා. ‍

Gappiya Pictures

මේ තවත් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකීකයෙක්. ඔහුගේ අන්වර්ථ නාමය ගප්පියා. ඔහු විදේශගත වූ ජීවිතයක සිතුවිලි වෙනස්ම විදියකට ඉදිරිපත් කරන චරිතයක්. කතාවක එන සියළුම චරිත තමන්ට ආරූඪ කරගැනීමේ අපූරු හැකියාවක් ඔහුට තියෙනවා. සංස්කරණය පැත්තෙනුන් ඉහල මට්ටමක  ඔහුගේ වීඩියෝ තියෙනවා. විටෙක සිනහවත් විටෙක හිතන්න යමකුත් ඔහුගේ නිර්මාණ තුල අන්තර්ගතයි. ඒත් එක්කම අමුතු කලාත්මක ගතියකුත් තියෙනවා.

Kushan Srimal Show

සරලවම කිව්වොත් ලංකාවේම ඉන්න කොල්ලෝ දෙන්නෙක්ගේ වැඩක්. ඔවුන් නමින් කුෂාන් සහ ශ්‍රීමාල්. මේ දෙන්නට නිතරම සහය වෙන්නේ සොයුරු චමිඳු. ඔවුන් වීඩියෝවක් නිර්මාණය කිරීමට තමන්ගේ හැකියාවන් සහ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න බවක් පේනවා. ප්‍රහසනය ඔවුන්ගේ සෑම වීඩියෝවකම අනිවාර්යයි. විශේෂත්වය ඔවුන්ගේ හැකියාවන් පුළුල් පරාසයක තිබීමයි. ඔවුන්ගේ ක්‍රියාදාම දර්ශනත් ඉහල මට්ටමක තියෙනවා. දැන් දැන් සංස්කරණය අතිනුත් සෑහෙන දියුණු මට්ටමක ඉන්නවා. මීට අමතරව ඔවුන්ට Sights with Kushan and Srimal සහ KushanSrimal 2nd Channel යනුවෙන් තවත් චැනල් දෙකක් තියෙනවා.

VideoKatha

මං හිතන විදියට මේ තවත් විදේශගත වූ ලාංකිකයෙක්. ඔහු නමින් සම්පත්. මේක අධ්‍යාපනික වශයෙන් ලොකු වටිනාකමක් සහිත යූටියුබ් චැනලයක්. ඔහුගේ චැනලය තුල විවිධ වූ මාතෘකා සාකච්ඡා කෙරෙනවා. එදිනෙදා සිදධින් මෙන්ම විද්‍යා හා තාක්ෂණික කරුණු පවා ඉතා සරලව ඉදිරිපත් කරන්න ඔහුට හැකියාව තියෙනවා.

Bored Without War (යුද්දේ නැතුව පාළුයි)

මේක ලංකාවේ තරුණයින් කීපදෙනෙකුගේ වැඩක්.  කියන්න තියෙන දේ කෙලින්ම කියන්න උත්සහ දරන කට්ටියක්. "පශ්චාත් යුධ සමයේ ලංකාව" තමා ඔවුන්ගේ ප්‍රධාන මාතෘකාව. මේ චැනලයට විවේචන වලින් නම් අඩුවක් නෑ. දාලා තියෙන ප්‍රතිචාර බැලුවොත්නම් තෙරෙයි ඒක. කාලීන සිදුවීම් ගොඩක් ඔවුන්ගේ කතාව යටින් ගලාගෙන යනවා. ගොඩක්ම වෙනස් විදියේ කතා මාලාවක් (Documentary Series). 

ඉතින් ඔය තියෙන්නේ මට අහම්බෙන් හමුවුණු ලංකාවේ අය පවත්වාගෙන යන යූටියුබ් චැනල් පහක්. මේවා දැනට හම්බවුණු හොදයි කියලා හිතෙන ඒවායින් කීපයක්. මීට අමතරව මඟ හැරුණු ඒවා තිබුණොත් ඒවත් දාලා මේ ලිපිය පසුව යාවත්කාලීන කරන්නම්. ෴

Download Sinhala Fonts

- Copyright © Shiroshan's Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -