Showing posts with label තරග. Show all posts

පුංචි පහේ මං ශිෂ්‍යත්වය ලියපු හැටි

ශිෂ්‍යත්වයක් ගැන මට මුලින්ම අහන්න ලැබුණේ 3 වසරේදි. 4 වසර විතර වෙනකොට අපේ ඉස්කෝලේ සවස් වරුවේ ඒ කියන්නේ ඉස්කෝලේ වෙලාවෙන් පස්සේ උපකාරක පංතියක් තිබ්බා. මේකෙදි එක එක විෂයයන්ට අමතරව සාමාන්‍ය දැනීම ප්‍රශ්න සාකච්ඡා කරනවා. කොච්චර පුළුල් පරාසයක ප්‍රශ්න කතා කරාද කිව්වොත් සමහර දවස් වලට ගිනි පෙට්ටියක ගිනි කූරු කීයක් තියෙනවද වගේ ප්‍රශ්නත් කතා කරා. විකාර වගේ හිතුණත් මම වැඩියෙන්ම කැමති ඒ වගේ ප්‍රශ්න ගැන කල්පනා කරන්න රචනා ලියනවට, ගණන් හදනවට වඩා. අනිත් එක තමා අනුමාන ප්‍රශ්න පත්‍ර. ඒ තරම් ප්‍රශ්න පත්‍ර ගොඩක් මම සාමාන්‍ය පෙළටවත් ලිව්වේ නෑ. 

ඒ ‍‍කාලේ ගම්පහ දිස්ත්‍රික්කෙන් ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු ගියේ එකසිය තිස් ගණන් වලින්. ඉතින් දවසක් අපේ පංතියට ආපු ටීචර් කෙනෙක් කිව්වා. 150 ක්වත් ගත්තොත් වැඩේ ගොඩ කියලා. ඉතින් එදායින් පස්සේ "පුතා ශිෂ්‍යත්වෙට කීයක් ගන්නවද?" මම කියන්නේ 150යි කියලා. ඒක මට ඔහේ කියවෙනවා. නමුත් ඊට වඩා වැඩි ලකුණු ගාණක් තිබුණොත් හොදයි කියලා මගේ හිතේ තිබ්බා.

Image Credit: lankanewspapers.com
අපේ අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගය තිබ්බේ දෙසැම්බරයේ සාමාන්‍ය පෙළ අස්සේ. මට හිතෙන විදියට 1992 සහ 1993 අවුරුදු වල ඉපදුණු කට්ටිය මෑත කාලයේ අධ්‍යාපන ක්‍රමයේදී විශේෂයෙන් කතාබහට ලක්වුණ කට්ටියක්. මොකද මමද ඇතුළුව මේ කට්ටියට එතෙක් ඒකාකාරීව පැවතුණු රටාවට හාත්පසින් වෙනස් දේවල් වලට මුහුණ දෙන්න සිදුවුණා. මේ පහතින් තියෙන්නේ ඒවායින් කීපයක්

  1. 2003 දී ශීෂ්‍යත්වය දෙසැම්බර් මාසයේ පැවත්වීම
  2. 2004 දී බහු පෙළපොත් ක්‍රමයක් ඇති වීම
  3. 2007 දී සාමාන්‍ය පෙළ විෂය නිර්දේශ මුළුමනින්ම අලුත් වීම
  4. උසස් පෙළ විෂය නිර්දේශ විටින් විට අලුත් වීම. (රසායන විද්‍යාව විශේෂයි)
  5. 2011 උසස් පෙළ Z අර්බුදය සහ නව-පැරණි නිර්දේශ ගැටුම
  6. 2012 උසස් පෙළ ප්‍රතිඵල සමීක්ෂණය දින නියමයක් නොමැතිව කල්යාම
  7. 2011-2012 රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුළු වීම සඳහා කාලය අනිසි ලෙස දිග්ගැස්සීම සහ නායකත්ව පුහුණුවක් කරලියට පැමිණීම

කොහොම හරි ප්‍රතිඵල ආවේ අපි 6 වසරටත් ඇතුළු වෙලා මාස කීපයක් ගියාට පස්සේ. ඒ කාලේ අපිට ඉන්ටනෙට් නෑනේ. අදුරන අයියා කෙ‍නෙක් ලව්වා ලකුණු බලවා ගත්තා. මෙන්න ලකුණු 151 යි හරියටම. මට ටිකත් පුදුමත් හිතුණා. මොකද හැමදාම "එකසිය පනහයි" කිය කිය හිටිය මට කෙස් ගහකින් විතර වැඩි වෙලා ලකුණු ඇවිල්ලා. කොහොම හරි පස්සේ දැනගත්තා ඉස්කෝලෙන්ම දෙවැනියා කියලා.

ඉතින් ඊට පස්සේ කතාබහට ලක්වෙන මාතෘකාව වෙන්නේ මොන ඉස්කොලෙටද යන්නේ කියලනේ. තෝරන්න දීපු ඉස්කෝල ලැයිස්තුවේ තිබුණ විදියට මගේ ලකුණු පරාසයට කොළඹ ජනප්‍රිය පාසල් 4ක් තිබ්බා. ඔය මොන ඒවා ආවත් ඒ කාලේ මට උණක් තිබ්බේ අයියා යන ඉස්කොලේටම යනවා කියලා. ඒ කියන්නේ මම හිටිය ඉස්කොලේම ද්වීතියික අංශයට.  ඉතින් කොහොමෙන් හරි දුර යනවට වඩා ළග තියෙන දේ හොදයි කියලා ඒකටම ගියා.

ජනප්‍රිය පාසලකට නොගියට ශිෂ්‍යාධාර නම් හම්බුණා. ශීෂ්‍යාධාර දෙන්නේ මාසික වැටුප යම් ප්‍රමාණයක උපරිමයක් දක්වා විතරයි. ඒ උපරිමය කීයද කියලා මට හරියට මතක නෑ. හැබැයි බහුතරය ඒ උපරිමය ඉක්මවන වැටුපක් ලබන පවුල් වල අය තමා හිටියේ. ඉතින් කොහොම හරි අඳාළ සහතික පෙන්නුවට පස්සේ රු.200 ක් හැම මාසෙම මගේ අතට දුන්නා. පස්සේ මේක ඒ කාලේ තිබුණ උද්ඝෝෂණයක් හින්දද කොහෙද රූ.500ක් දක්වා ඉහල දැම්මා. තවත් කාලයක් ගියාට  පස්සේ මේක අතට දෙන එක නවත්තලා අපේ නමින් බැංකු ගිණුමකට බැර කලා. ඉතින් කොහොම හරි සාමාන්‍ය පෙළ ඉවර වෙනකම්ම හම්බ වුණා. උසස් පෙළටත් ඉල්ලගන්න කියලා ඉස්කෝලෙන් කිව්වට ග්‍රාම සේවක සහතික ගන්න ආයේ යන්න එපෑ. අනිත් එක ඔය කියන උපරිම මාසික වැටුපත් ඉක්මවූ වැටුපක් තමා අපේ ගෙදරට ලැබෙන්නේ. ඉතින් මොකටද තවත් ඉල්ල ඉල්ල යන්නේ.

ඉතින් ඔය කතන්දර ඔක්කොම ඉවර වෙලා පස්සේ තමා මට තේරන්නේ මේක නිකන්ම සාමාන්‍ය දැනීම වගේ ප්‍රශ්න පත්‍රයක් කියලා. ඒත් දැන් ඒක තරග විභාගයක් මට්ටමට ඇවිල්ලා. කවුරු කො‍හොම කිව්වත් දැන් මේක ළමයින්ටත් දෙමාපියන්ටත් ගුරුවරුන්ටත් අමතර පීඩනයක් වෙලා ඉවරයි. සෑම පාසලක්ම අත්‍යවශ්‍ය පහසුකම් සියල්ලෙන් සමන්විත කරවීම සහ එකම ප්‍රමිතියකට පාලනය වීම මේකට තියෙන සරලම විසඳුම කියලයි මට හිතෙන්නේ. ඉතින් එහෙම දෙයක් ඇත්තටම සිද්ධ වෙනවනම් ශීෂ්‍යත්ව විභාගයක් ‍තවදුරටත් අවශ්‍ය වෙන එකක් නෑ. හැබැයි පළමු පියවර තබන්න කලින් දෙවන පියවර තබන්න යන එකනම් නිෂ්ඵලයි. ෴

උසස් පෙළ කඩඉම

ඔන්න ඉතින් ඒකත් ඉවරයි. අවුරුදු 4ක් තිස්සේ කරපු දේවල් වල ප්‍රතිඵල ඊයේ ආවා. 2012 දී  පළමුවර CSS ගත්තු මට 2013 දී දෙවනවර කරලා BBC හම්බුණා. C සංයුක්ත ගණිතයට. (හැබැයි ඉතින් මම හොදටම ලිව්වේ මේකට. මේ විෂයය ගැන මම හිතන් හිටපු විදිය වැරදිද මන්දා.) සාමාන්‍ය පොදු පරීක්ෂණයට 75 ක්ද ඉංග්‍රීසියට C සාමාර්ථයක්ද Z-අගය 1.1736 ක්ද දිස්ත්‍රික් කුසලතාව 409 ද දිවයිනෙන්ම 4447 වැනි ස්ථානයද ලැබුණා. හැමෝටම වගේ මටත් හිතෙනවා මීට වඩා යමක් කරන්න තිබ්බනම් කියලා. දෙවනවර ලිව්වේ ඉංජිනේරු සිහිනය හැබෑකරන්න නමුත් තොරතුරු තාක්ෂණ අංශයෙන්වත් හීනය සැබෑ කරගන්න තමයි දැන් මාන බලන්නේ. ඒකට ඉතින් තව මාස දෙක තුනක්වත් බලන් ඉන්න වෙයි. (රජයේ විශ්ව විද්‍යාලයකට යන්න සෑහෙන්න ඉවසීම ප්‍රගුණ කරන්න වෙනවනේ.) ‍ඉතින් සියලු උසස් පෙළ සමතුන්ට මගෙන් උණුසුම් සුභ පැතුම්!
Image from lankanstuff.blogspot.com

කොහොමහරි කමක් නෑ. දැන් උසස් පෙළ ජීවිතය අවසන් කරපු හින්දා  මේ ජීවිතයට පය තබන සහ තැබූ නවකයින්ට පොඩි උපදෙස් ටිකක් දෙන්න හිතුවා. හැබැයි ඉතින් මේවා ලියන්න මට මහ ලොකු සුදුසුකමක් නෑ. දන්න දේ පොඩියට හරි බෙදාගන්න හිතුවා.

විෂයය ධාරාව තෙරීම

මේක වැදගත් කාරණයක්. මං ගැන කියනවනම් මට කිසිම බලපෑමක් ආවේ නෑ කාගෙන්වත්. ගෙදරින් කැමති දෙයක් තෝරාගන්න ඉඩ දිලා තිබ්බේ. මගේ අයියා තෝරා ගත්තේ ගණිත විෂයය ධාරාව නිසාත් පරිගණක අංශයේ රැකියාවකට මෙය උදව්වක් වන නිසාත් ගණිතය/විද්‍යාව වගේ විෂයයන්ට අසා නිසාත් ගණිතය විෂයය ධාරාව කරපු කෙනෙක්ට ගොඩ යන්න මොකක් හරි මඟක් තියෙන නිසාත් කෙලින්ම මේකම තෝර ගත්තා. මේ කාලේ වෙනකොට ICT ප්‍රධාන විෂයයක් විදියට ආව නිසා මට රසායන විද්‍යාව අයින් කරලා ඒක කරන්න හිතුවත් හොයල බලද්දී සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව කියන මේ විෂයයන් ත්‍රිත්වය නැතුව ඉංජිනේරු පීඨයට ඇතුලත් වෙන්න බෑ. මොකද පස්සේ තමා මට ආසාවක් ඇති වුණේ ඉංජිනේරු වෘත්තිය පිළිබඳව. ඉතින් ඔබ විෂයයන් තොරද්දී අනාගතය ගැන හිතන ගමන් තමන්ගේ ආසාව ගැනත් හිතන්න.

පාසල

පාසල් කාලයේ අවසානය සනිටුහන් වෙන්නේ උසස් පෙළ විභාගයත් සමඟ. ඒක නිසා මේක ගොඩක් වැදගත් වන කාලයක්. ඒක නිසා හොද විදියකට පාසලින් සමුගන්න උත්සහ කරන්න. පාසල සහ ටියුෂන් පටලවා නොගන්නවා තරමට ඔබට ගොඩක් පහසුයි. මේ ස්ථාන දෙකටම තියෙන්නේ එකිනෙකට වෙනස් වූ උප සංස්කෘතීන් දෙකක්. සමහරවෙලාවට ඔබට හිතෙනවා වෙන්න පුළුවන් පාසල් ගුරුවරයාගෙයි ටියුෂන් ගුරුවරයාගෙයි පැහැදිලි කිරීමේ හැකියාව ගත්තම අහසට පොළොව වගේ කියලා. ඉතින් එහෙම කියලා සම්පූර්ණයෙන්ම ඉස්කෝලේ අමතක කරලා දාන්න යන්න එපා. පාසල කියන්නේ නීති රාමුවක් තුල සංවිධානය වෙච්ච දෙයක්. ටියුෂන් ගොඩක් වෙලාවට එහෙම නෑ. කවුරු මොනවා කිව්වත්  80% පාසල් පැමිණීම අනිවාර්යයි. මුල ඉදලම නොකඩවා පැමිණීම පසුවට පහසුවක් වෙන්න පුළුවන්. ඒකෙන් ඔබට අඩුම තරමේ එකම පාඩම දෙවතාවක්වත් මතකයට නඟා ගන්න හරි පුළුවන්. කොහොමත් අන්තිම කාලෙදී අපේ කට්ටිය ඉන්නේ ටියුෂන් පංති වල කියලා හැමෝම දන්න දෙයක්නේ.

ටියුෂන්

අද ලංකාවේ පළමුවැනියා වුණත් මොකක් හරි ටියුෂන් පංතියකට යන තත්ත්වයක් තියෙන්නේ. ඉතින් තරගකාරීත්වය උපරිම වෙලා. පාසල ගැන ඔබට සහතිකයක් තියෙනවනම් ඔබ ගැන විශ්වාස නම් ටියුෂන් නොගියා කියලා මහ ලොකු වරදක් නැ. පාසල් විතරක් ගිහිල්ලා විභාගය සමත් අයත් ඕනේ තරම් ඉන්නවා.

ස්වයං අධ්‍යයනය

මේකට ලොකු ආසාවක් නැත්නම් කරන්න ආමාරුයි. පොත පත , අන්තර්ජාලය , රූපවාහිනිය වගේ ගොඩක් දේවල් පාදක කරගෙන තනියම ඉගෙන ගන්න පුළුවන්. සියලුම විෂය නිර්දේශයම තමන්ට ආවරණය කරගන්න නම් කරන්න බැරිම දෙයක්. කෝකටත්  අදාළ පොත්වල කරුණු සහ විෂය නිර්දේශයේ කරුණු අතර ගැලපීම් ගැන දැනුවත්ව ඉන්න. පොත පතේ කරුණු හොඳින් අධ්‍යයනය කර පස්සේ ගුරුවරයෙකුගෙන් නැවත එම කරුණු ඉගෙන ගැනීමේදී ඔබට ලේසියෙන්ම පාඩම ග්‍රහණය කරගන්න පුළුවන්.  මේක මම ප්‍රායෝගිකව අත්දැකපු දෙයක්.

ව්‍යාපෘති

මේක බොහෝ දෙනෙක් විහින් ඇණයක් කරගෙන තියෙනවා. ප්‍රධාන හේතුව කියලා මම හිතන්නේ පස්සේ කරන්නම් කියලා කල් දැමීම සහ නිසි කාල කළමණාකාරීත්වයක් නැති කම. අපේ පංතියේ උන්ට නිවාඩු පවා ලැබුණා නියමිත දිනට භාර නොදීම නිසා. තමන්ගෙම ස්වනිර්මාණයක් කරලා පොඩි ආත්ම තෘප්තියක් ලබාගන්න මේක හොද අවස්ථාවක්. ඇත්තටම පිටු දෙසීය තුන්සීයේ පොතක් ගෙඩි පිටින් කොපි කරනවට වඩා හොද නැද්ද තමන්ට පුළුවන් පරිදි තමන්ගෙම කියලා පොඩි නිර්මාණයක් කරන එක. මේකේදී අර වගේ පිටු ගණක් ලියන්න වද වෙන්න ඕනෙත් නෑ. කණ්ඩායම් ව්‍යාපෘතියට නම් ගොඩක් වෙලාවට කරන්නේ ඉස්කෝලේට මොකක් හරි කරල දෙන එකනෙ. මේ වැඩේ සාර්ථකව කරන්නනම් සෑම සාමාජිකයෙකුම කැපවීම අත්‍යවශ්‍යයි. අපේ කණ්ඩායම් ව්‍යාපෘතිය නම් මෙලෝ රහක් නැති එකක්. අන්තිම මොහොතේදී පිටු තුන හතරක පිංචක් තමා දුන්නේ.

ඉංග්‍රීසි භාෂාව

මට හිතෙන හැටියට උසස් පෙළ කාලේදී බල්ලගේ ගානටම වැටෙන විෂයයක් තමා මේක. මම දන්න ගොඩක් උන් ඉන්නවා ඉංග්‍රීසි වහකඳුරු වගේ. මට හිතෙන විදියටනම් මේකට මූලිකවම හේතු වෙන්නේ මූලික පදනම හරියට නොලැබීම සහ තමන්ගේ ඍණාත්මක ආකල්පයි. විශ්ව විද්‍යාලයට ඇතුලත්වීමේ ඉංග්‍රීසියට ඇති සාමාර්ථය නොසලකා හරින නිසා බොහෝ දෙනෙක් මුලදීම මේක අත අරිනවා. මං ගැන කියනවනම් මම උසස් පෙළදී මාස දෙක තුනක් විතර තමයි ඉංග්‍රීසි ඉගෙන ගත්තේ. අන්තිම කාලයේදී අපේ ඉංග්‍රීසි ගුරුතුමියට සිද්ධ වුණා අනෙක් විෂයයන් තුන වෙනුවෙන් තමන්ගේ කාල පරිච්ඡේදය කැප කරන්න. අන්තිමේදී මුකුත්ම නොකර ඉංග්‍රිසියට C ක් නම් තිබුණා. (පලමුවර දෙවනවර දෙකේදීම C) කොහොමහරි ඉංග්‍රීසිය අසමත් නොවී තබාගැනීම වටිනවා.

බය විම සහ කල්දැමීම

විභාගය ලං වුණාම දැන් ප්‍රමාද වැඩියි කියලා හිතිලා ඊළග පාර කරනවා කියලා කල් දාන එක නම් එච්චර හොද නෑ. මොකද මටත් මේක හිතුණා. හැබැයි මොනාහරි වෙච්චි දෙන් කියලා හිත හදාගෙන මම ලිව්වා. ඒකෙන් උසස් පෙළ විභාගයේ පළමු අත්දැකීම ඔබට ලැබෙනවා. එතකොට ඔබ දෙවැනිවර යන්නේ ඒ අත්දැකීම අමතර වාසියක් කරගෙන. පාඩම් වැඩ වුණත් අද වැඩ ටික අදම කරන්න. ඕනවට වඩා කල්පනා කරලා තනියම බය වෙන්න එපා.

පංතිය තුල තරගකාරීත්වය

මගේ ජනප්‍රිය පාසල් වල මිතුරන්ගේ මම දැක්ක දෙයක් තමා ඔවුන්ගේ පංති කාමර තුල හොද තරගකාරිත්වයක් තියෙනවා. මම එහෙම කිව්වේ අපේ පංතියේ 15 දෙනාට සාපේක්ෂව. ඒකෙන් ගොඩක් දෙනෙක් නොදැනීම පිටිසර පාසල් සිසුන්ට වඩා ඉදිරියට එනවා. හැබැයි ඔබ උසස් පෙළ කරනකොට තමන්ව පංතියේ ළමුන් එක්ක විතරක් සසඳන්න යන්න එපා. මේක හොදටම තෙරේන්නේ ළමුන් දහස් ගණන් ඉන්න ටියුෂන් පංතියකට ගියාම. ඔබට තරග කරන්න වෙන්නේ නොපෙනෙන තරග කරුවෙක් එක්ක. ඒක නිසා අනුන් කරන විදියට නොකර තමන්ගේ උපරිමය යොදන්න.

කෙටි ක්‍රම සහ රහස්

එක එක විෂයයන්ට අනුව ක්‍රමවේද වෙනස්වනවා වගේම ඉගෙන ගන්නා කෙනා අනුවත් උගන්වන කෙනා අනුවත් මේවා වෙනස් වෙන්න පුවවන්. ඒක හින්දා වැඩි කල් යවන්නේ නැතුව තමන් තුලම නිවැරදි ක්‍රමයක් හොයාගන්න එක ඇඟට ගුණයි. සාර්ථක වෙච්ච චරිතයකින් ආදර්ශ ගත්තට කමක් නෑ. එයාව 100% අනුකරණය කරන්නනම් යන්න එපා. 

පසුගිය විභාග ප්‍රශ්නෝත්තර

මේවා අනිවාර්යෙන්ම කල යුතුම දෙයක්. මේක මම විතරක් නෙමේ ප්‍රශ්න පත්‍ර සකසන මහාචාර්යවරු පවා අනුමත කරන දෙයක්. අඩුම තරමේ අවුරුදු දහයකවත් ප්‍රශ්න පත්‍ර හොයාගෙන නියමිත කාලය අරගෙන උත්තර ලියලා හරිවැරදි සාකච්ඡා කරගන්න ඕනේ. විභාගය ළං වෙනකොට ආයේ පාරක් මේ වැඩේම කරන්න. මෑතකදී විෂය නිර්දේශය අලුත් වුණු හින්දා ඒ ගැනත් විශේෂයෙන් අවධානය යොමු කරනවනම් හොදයි. 

සැහැල්ලුව සහ සමබරතාව

පාසල් ජීවිතයේදී අන් කවරදාකවත්ම නැති මානසික පීඩනයක් මේ කාලයේදී දැනෙන්න පුළුවන්. ඕල්-රවුන්ඩ කෙනෙක් වීමෙන් මේ පීඩනය අඩු කර ගන්න පුළුවන්. හැබැයි හැමෝටම එහෙම බෑ. ඉතින් අනෙකුත් බාහිර ක්‍රියාකාරකම් වල පුළුවන් විදියට යෙදෙන්න. (මෙහිදි තරගකාරී තත්ත්වය අනුව නම් ලොකු දේවල් කරන්න බෑ. සිංදුවක් අහනවා, චිත්‍රපටයක් බලනවා, පොඩ්ඩක් ඇවිදින්න යනවා වගේ දෙයක් ඇරෙන්න) සාමානය පෙළ කරා වගේ නම් උසස් පෙළ  කරන්න බෑ. මොකද සාමාන්‍ය පෙළ A9 උසස් පෙළදී F3 කට වුණත් වැටෙන්න පුළුවන්.

පළමුවර අසමත්නම්

ඔබ උසස්පෙළ ගණිතය විෂයය ධාරාවෙන් පළමුවර මුහුණ දී කිසිම විෂයක් අසමත් වී නොමැති නම් ඔබ අසමත් නොවීම ගැන සතුටු වෙන්න. ඉහල ප්‍රතිඵලයක් නොලැබීමට දුක් වෙනවට වඩා හොදයි එහෙම වෙන්න හේතු ටික තමන් විසින්ම හොයාගන්න එක. ආයේ පාරක් කරනවනම් හොදට කල්පනා කරන්න මම මේක කරන්නම ඕනද කියලා. කරන්න ඕනේනම් හිත හිත ඉන්නේ නැතුව දැන්ම වැඩ පටන් ගන්න. ආයේ පාරක් රිවිෂන් යනවනම් හිත හයිය කරගෙන යන්න. "මේක වැඩක් නෑ. මම නිකන් කාලය කනවා" කියලා හිතෙන හැමවෙලාවක්ම ප්‍රයෝජනවත් වැඩකට යොදවන්න බලන්න.

අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ අ.පො.(උ/පෙ) යනු ඔබේ ජීවිතයේ එක්තරා කාල පරිච්ජේදයක් විතරයි. එතනින් පස්සේ කරන්න දේවල් ඕනේ තරම් තියෙනවා. ප්‍රතිඵලයක් ගැන හිත හිත දුක් වෙනවට වඩා තමන්ට පුළුවන් තමන් කැමති දෙයක් ගැන උනන්දු වෙන එක වටිනවා. සමහර විට ඒ දේට ගොඩක් මුදල් වැය වෙන්නත් පුළුවන් එහෙම නොවෙන්නත් පුවවන්.
යමක් කරන්න පුළුවන්ද බැරිද කියන එකෙන් වැඩක් නෑ. මොකද අපි ඉස්සෙල්ලාම උත්සහයක් දීලා බලන්න ඕනේ. එහෙම කැපවීම් කරලා අන්තිමට සාර්ථක වුණාම මාර සතුටක් දැනෙනවා. එහෙම කරලත් සාර්ථක වුනේ නැත්නම් ඒ ගැන තවත් දුක් වෙන්න එපා. තමන් කරපු දේවල් ගැන සතුටු වෙලා වෙන අතක් බලාගන්න. හැබැයි බාගෙට කැපවීම් කරලා අන්තිමේදී අසාර්ථක වුණාම දැනෙන දුක ආයේ කවදාරි මතු වෙන්න පුළුවන්.
ඔය කියමන කිව්වේ අපිට සංයුක්ත ගණිතය උගන්නපු සර් කෙනෙක්. පහල තියෙන බ්ලොග් සටහනුත් කියවලා බලන්න. මට වඩා හොදට පැහැදිලි කරලා තියෙනවා මේ සම්බන්ධව. මමත් ඒවා වලින් ගොඩක් ඉගෙනගෙන තියෙනවා.


ප.ලි.
මෙහි සදහන් කරුණු ඒ ඒ පුද්ගලයාට සාපේක්ෂව ‍වෙනස් විය හැක.  මා හදාරා ඇත්තේ ගණිත විෂය ධාරාවෙන් බැවින් අනෙකුත් විෂයය ධාරාවන්ට මෙය නොගැලපීමට පුළුවන.

පළමු විභාගෙන් පස්සෙන්

ඔන්න ගොඩ කාලෙකට පස්සේ තමා බ්ලොග් ලිපියක් ලියන්නේ. තව සතියක් විතර නොලියා හිටියොත් බ්ලොග් කියවන අඩවි වලින් මගේ බ්ලොගය ඉවත් වෙන්න පුළුවන්. ඒක හින්දයි මේක ලියන්න හිතුවේ. හැබැයි ඒ හින්දමත් නෙමේ. තව කියන්නත් ගොඩක් දේ තියෙනවා.


ඉතින් හා හා පුරා කියලා උසස් පෙළදී හමුවෙන පළමු වාර විභාගෙටත් මුහුණ දුන්නා. විභාගේ ගැන කියනවනම් හිතපු තරම්ම සාර්ථකත්වයක් ලබාගන්න බැරි වුණා. භෞතික විද්‍යාව, ඉංග්‍රීසි සහ GIT වලටනම් උඩින්ම ලකුණු තියේවි. අනිත් දෙකනම් සමත් වීමම ලොකු දෙයක්. කොහොම හරි ඒකේන් කියවෙන්නේ මම මහන්සි වුණා මදියි කියන එක. මීට වඩා ගොඩක් මහන්සි වෙන්න වෙනවා. අද ඉස්කෝලේ නිවාඩුත් හම්බවුණා. කොහොම හරි මේ දෙසැම්බරයේ අර දුන්න ප්‍රශ්න පත්‍රවලට ආයේ පාරක් ලියලා 99.9% ක ලකුණු මට්ටමක් කරා ඒමට මහන්සි වෙන්න ඕනේ. ඒ වගේම උසස් පෙළ ව්‍යාපෘතියත් මේ මාසේදී හැකි පමණින් ඉවරයක් කරන්න ඕනේ. පාසලේ වෙබ් අඩවිය නිර්මාණය කිරීම තමා ව්‍යාපෘතිය. කොහොමත් වෙබ් අඩවි නිර්මාණය පිළිබඳ හොඳ අත්දැකීම් ටිකක් Vidyawa.com අඩවිය නිසා ලැබුණා. 

විද්‍යාව.කොම් අඩවිය ගැනත් ඕගොල්ලෝ මේ වෙද්දී දන්නවා ඇති. 2010 වසරේ හොදම සමූහ බ්ලොග් අඩවිය ලෙද විද්‍යාව.කොම් සිංහල බ්ලොග්කරණ තරගාවලියේදී සම්මනයට පාත්‍ර වුණා. ඒ අංශයෙන් සම්මානයක් හම්බ වේවි කියල මම හිතුවේ නෑ. නමුත් කිහිප දෙනෙකු මේක ඇඟයීමකට ලක් කරලා තිබුණ හින්ද සම්මානය ගැන පුංච් බලාපොරොත්තුවක් තිබුණා. සම්මානය ගැනනම් ගොඩක් සතුටුයි. එහි ස්තූති කතාව මෙතැනින් කියවන්න පුළුවන්. කොහොම වුණත් සම්මානය හිමි වුණේ තනි මට නෙමේ. විදයාව.කොම් වෙනුවෙන් දායක වුණු හැමෝටමයි.

සම්මානය ලැබුණු දවසත් අමතක නොවන දවසක්. "අසෙනිය කුසුම" උත්සවයේ අන්තිම හරියේදී තමා සම්මානය ගන්න අවස්ථාව ලැබුණේ. සම්මානය අරගෙන ඉවර වෙලා රාජකීය විද්‍යාලයෙන් එළියට බහින්න හදද්දීම මහ වැස්සක් කඩා පාත් වුණා. හැබැයි අසෙනිය කුසුමට ඒ පාර ඒකෙන් බාධාවක් වුණේ නෑ. මොකද ඒ වෙනකොට උත්සවයේ අවසානය ළඟා වෙලයි තිබුණේ. කොහොම හරි ඒකෙන් සිංහල බ්ලොග්කරුවන් කිහිප දෙනෙකේවත් දැකගන්න ලැබුණා. සුදාරක, මුචලින්ද , ආගන්තුකයා, පිටස්තරයා, malee_msgමලින්ත ... සමහර අයගේ නම් නම් මතක නෑ. වැඩිය කතා කරන්න හම්බ වුණෙත් නෑ. මම වැස්ස නිසා අයියත් එක්ක යන්න ගියා. වැස්සට තෙමිලා මෝටර් බයිසිකලයත් වැඩ ක‍රෙත් නෑ. හෙන කට්ටක් කෑවා. පස්සේ කොහොමෙන් හරි ගොඩ ආවා. අන්තිමේදී රෑ 9.00 විතර වෙද්දී ගෙදර ආවා.

ඉතින් ඔන්න ඔහොම තමා සිද්ධි ටික. අන්තර්ජාල භාවිතයනම් දැන් ගොඩක් අඩු කරන්න වෙයි ඉදිරියට. නමුත් කොහොම හරි බ්ලොගය පැත්තෙත් ඇවිල්ලා යන්නම්. ආ.. තව දෙයක්. විද්‍යාව.කොම් පවත්වාගෙන යාමට කවුරුහරි දායක වෙන්න කැමතිනම් කියන්න. තාක්ෂණිකව හරි දායකත්වයක් දෙන්න පුළුවන් නම් ඒත් කමක් නෑ. නිතරම යාවත්කාලීන කිරීම තනිවම කරනන අමාරුයි. මොකද තාම කණ්ඩායමට කිහිප දෙනයි ඉන්නේ. කොහොමත් මම ඒක තව දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් දැනට නවතින්නම්.෴

සුපිරි බොලිවුඩ් වාර්තා

ඔන්න අද කියන්න යන්නේ බොලිවුඩ් සිනමාව තුල වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපට ගැන. කලින් ලිපියේ ලෝක සිනමාව ගැන කතා කලා මතක ඇතිනේ. බොලිවුඩය කියන්නේ ඉන්දියාවේ ඇති අති දැවැන්ත සිනමා කර්මාන්තයක්. හොලිවුඩයට පමණයි දෙවැනි වෙන්නේ. දැන් දැන් ස්ලම්ඩෝග් මිලියනර්, වොටර් වැනි හොලිවුඩයත් බොල්වුඩයත් අතර හවුල් නිෂ්පාදන බිහිවෙනවා. ඒ තරම්ම ලොව පුරා බොලිවුඩය ජනප්‍රියයි. ඉන්දියාවේ තව සිනමා කර්මාන්තයක් තියෙනවා. ඒ තමා කොලිවුඩය(දෙමළ සිනමාව). මේකත් බොලිවුඩයේ ආභාෂය ලබපු එකක්. තාම බොලිවුඩය තරම්ම දැවැන්තබාවයක් නෑ ඒකට.කොහොමහරි දැන් මේ කියන්න යන්නේ බොලිවුඩයේ වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපට 30 ගැනයි. මේකේ හැබැයි වගු 2ක් තියෙනවා. එකක් පැරණි චිත්‍රපට ටික. අනෙක අලුත් චිත්‍රපට ටික. මේ වගු දෙකම සන්දන්දනය කරන්න ටිකක් අමාරුයි. මොකද ඒ කාලේ උද්ධමනයයි, දැන් ඉන්දියාවේ උද්ධමනයයි වෙනස්නේ. අනෙක ජනගහණයත් දැන් ගොඩක් වැඩි වෙලානේ. ඒක හින්දා මේ දෙකම එකතු කරලා තනි එකක් හදන්න අමාරුයි. නමුත් අපිට මේක දිහා බලලා වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට ටික ගැන දළ අදහසක් ගන්න පුළුවන්.

 නව සිනමාව
Higest Earning New Movies Released Year Net Gross Earning (Rs.)
3 Idiots 2009 1305673069
Ghajani 2008 1174822756
Dhoom 2 2006 788600000
Krrish 2006 814605346
Singh is King 2008 755881177
Rabne Banadi Jodi 2008 867800000
Welcome 2007 729827492
Om Shanti Om 2007 699601108
Lage Raho Munna Bhai 2006 652842977
Chak De India 2007 676900000
Gadar: Ek Prem Katha 2001 700000000
Ajab Prem Ki Gazab Kahani 2009 639624651
Hum Aap Ke Hai Kaun 1994 600000000
Taare Zameen Par 2007 624800000
Race 2008 594464799
Fanaa 2006 583433344
Jaane Tu Ya Jaane Na 2008 576298121
Dilwale Dulhaniya Le Jayange 1995 560000000
Love Aaj Kal 2009 663500000
Jodhaa Akbar 2008 549719298
Partner 2007 611900000
Kambakkht Ishq 2009 558743751
Wanted 2009 523840303
Partner 2007 611900000
Golmaal Returns 2008 516900000
Rang De Basanti 2006 521045312
Don – The Chase Begins 2006 511500000
Kuch Kuch Hota Hai 1998 500000000
Kaminey 2009 510321059
De Dana Dan 2009 482600000
Guru 2007 503458779
Dostana 2008 496854549
Bhool Bhulaiyaa 2007 497400000
Kabhi Kushi Kabhi Gham 2001 490000000
Koi Mil Gaya 2003 489268384

 පරණ සිනමාව
Higest Earning Old Movies Released Year Net Gross Earning (Rs.)
Sholay 1975 2364500000
Mughal-E-Azam 1960 1326900000
Mother India 1957 1173000000
Sangam 1964 885700000
Aradhana 1969 1056152384
Kranti 1981 847700000
Bobby 1973 852500000
Do Raaste 1969 819428608
Ganga Jamuna 1961 843900000
Trishul 1978 776749952
Awara 1951 775135104
Muqaddar Ka Sikandar 1978 809000000
Coolie 1983 769535616
Roti Kapda Aur Makaan 1974 769800000
Don 1978 766791616
Naya Daur 1957 697500000
Amar Akbar Anthony 1977 946041664
Sachaa Jhutha 1970 754736896
Mere Mehboob 1963 692600000
Haathi Mere Saathi 1971 754736896
Dharam Veer 1977 690900000
Upkar 1967 690500000
Johny Mera Naam 1970 688900000
Jai Santoshi Maa 1975 678100000
Shree 420 1955 657600000
Kismat 1943 653600000

 දත්ත වගු මූලාශ්‍ර : www.mumbai77.com / Ibosnetwork.com / Boxofficeindia.com

වැඩිදෙනෙකුගේ මතය අනුව දැනට වැඩිම ආදායම උපයා ඇත්තේ මේ ළගදී පැමිණි  3 Idiots චිත්‍රපටයයි. මෙහි ප්‍රධාන චරිතය රඟන්නේ ආමීර් ඛාන්. 3 idiots චිත්‍රපටය බිඳ දැමුවේ එතෙක් වැඩිම ආදායම ඉපයූ Sholay චිත්‍රපටයේ වාර්තාවයි. මම Sholay දන්නා පරිදි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟන්නේ අමිතාබ් බච්චන්. අවුරුදු 35ක් තිස්සේ අංක 1 සිටි Sholay දැන් 2වන ස්ථානයට පැමිණ ඇත. ඉස්සරහට මොනවා වේවිද දන්නෑ. දන්නවනම් පහළින් ප්‍රතිචාරයක් දාන්න.

Tuesday, February 23, 2010
Posted by Shirosh

ලෝක සිනමාවේ ධන ආකර

අද ලෝක සිනමාව නවීන තාක්ෂනයත් සමග දිනෙන් දින දියුණු වෙනවා. ප්‍රධාන වශයෙන් ලෝක සිනමාව පෝෂණය වන්නේ හොලිවුඩ් සිනමාවෙන්ය. ඒ වුණත් මේ වන විට බොලිවුඩය වැනි සිනමා කර්මාන්තත්  ලෝක සිනමාව ආක්‍රමණය කරමින් පවතී. ඒ කෙසේ වෙතත් මම මේ කියන්න යන්නේ ලෝක සිනමාව තුල එතෙක් මෙතෙක් බිහි වූ වැඩිම ආදායම් ඉපයූ චිත්‍රපට ගැනයි. පහත වගුවේ දැක්වෙන්නේ එතෙක් මෙතෙක් වැඩිම ආදායම් ඉපුයූ සිනමා පට විස්ස පිළිවෙලින්ය. ආදායම ඇමරිකානු ඩොලර් වලිනි.


නිකුත් වූ වර්ෂය චිත්‍රපටයේ නම සම්පූර්ණ ආදායම
1 2009 Avatar $2,361,721,154
2 1997 Titanic $1,842,879,955
3 2003 The Lord of the Rings: The Return of the King $1,133,027,325
4 2006 Pirates of the Caribbean: Dead Man's Chest $1,065,659,812
5 2008 The Dark Knight $1,022,345,358
6 2001 Harry Potter and the Sorcerer's Stone $976,457,891
7 2007 Pirates of the Caribbean: At World's End $960,996,492
8 2007 Harry Potter and the Order of the Phoenix $938,468,864
9 2009 Harry Potter and the Half-Blood Prince $937,499,905
10 2002 The Lord of the Rings: The Two Towers $926,284,377
11 1999 Star Wars Ep. I: The Phantom Menace $924,288,297
12 1993 Jurassic Park $923,067,947
13 2004 Shrek 2 $919,838,758
14 2005 Harry Potter and the Goblet of Fire $896,013,036
15 2007 Spider-Man 3 $890,871,626
16 2009 Ice Age: Dawn of the Dinosaurs $884,528,368
17 2002 Harry Potter and the Chamber of Secrets $878,987,880
18 2001 The Lord of the Rings: The Fellowship of the Ring $868,621,686
19 2003 Finding Nemo $866,592,978
20 2005 Star Wars Ep. III: Revenge of the Sith $848,998,877

දත්ත වගු මූලාශ්‍රය : www.the-numbers.com

විශේෂත්වය වනනේ මේ ළගදී නිකුත් කරන ලද "අවතාර්" චිත්‍රපටය සියළු චිත්‍රපට අභිබවා වැඩිම ආදායම ලැබීය. ඇත්තටම මේකේ නියම තරගය තිබ්බේ වසර 13ක් පුරා අංක 1 ස්ථානයේ බැබළුණු ජේම්ස් කැමරන්ගේ "ටයිටැනික්" චිත්‍රපටය 2010දී ඔහු විසින්ම බිද දැමීමයි. ඒ "අවතාර්" චිත්‍රපටය බිහි කරවමිනි. "අවතාර්" චිත්‍රපටය සෑදීමට වසර 10ක් ගත වුණා. එම වසර 10යේ දැරූ මහන්සියේ ප්‍රතිඵල එය නැරඹුවාම අපට බලාගන්න පුළුවන්. බැලුවේ නැත්නම් බලන්න. මිනිසාගේ කෑදරකමත්, පැන්ඩෝරා ලෝකයේ සුන්දරත්වයක් ඉතා මැනවින් පෙන්නලා තියෙනවා. ත්‍රිමාන සජීවිකරණය මගින් ප්‍රේක්ෂකයාට උපරිම ආශ්වාදයක් ලබා දීමට මෙම චිත්‍රපටයට හැකි වෙලා තියෙනවා.
කොහොම හරි ඉහත වගුව බැලුවම එක ලක්ෂණයක් පේනවා. එනම්  චිත්‍රපට කතා මාලා වල පළමු චිත්‍රපටයේ සිට පිළිවෙලින් අවසන් චිත්‍රපට දක්වා ආදායම කෙමෙන් අඩු වී ඇති බවකි. උදාහරණයක් ලෙස "හැරී පෝටර්" වැනි චිත්‍රපට වල පළමු කොටස වැඩි ආදායමක් ලබා සිටියදී ඉන්පසුව පැමිණි චිත්‍රපට කොටස් වල ආදායම අඩු වී ඇති බවයි. මේකෙන් තව දෙයක් පෙන්වනවා ඒ තමා ලෝක සිනමා ප්‍රේක්ෂකයින්ගේ රස වින්දනය. ඒ වගේම ඔබේ රස වින්දනයට මේ චිත්‍රපට කෙතරම් දායක වුණාද කියලා පොඩි අදහසකුත් පළ කරලා යන්න.
Sunday, February 21, 2010
Posted by Shirosh

ජනපති සටනෙන් බිහි වූ ගී සල රූ

දැන් ශ්‍රී ලාංකීය ජනතාව හරි බරි ගැහිලා බලන් ඉන්නේ ජනපති සටනේ ජයග්‍රාහකයා කවුද? කියලා. ජනවාරි 23 මධ්‍යම රාත්‍රියේ ඉදලා ජනමාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු නිල වශයෙන් නවතන ලදී. හැමෝම දන්නවනේ ප්‍රචාරණ කටයුතු සදහා රූපවාහිනිය කෙතරම් පාවිච්චි කළාද කියලා. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා තම තමන්ගේ ජයග්‍රහණය සදහා විවිඩ වූ දැන්වීම් රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය කළා. මේ දැන්වීම් අතරින් ලස්සනම දැන්වීම පිළිබඳ පොඩ් තරගයකුත් තිබුණා.

මම මේ කියන්න යන්නේ මගේ හිත ගිය දැන්වීම් 3ක් ගැන. විශේෂත්වය වන්නේ මෙම දැන්වීම් 3ම එකම අපේක්‍ෂකයාගේ දැන්වීමක් 3ක් වීමය. මේ සදහා එම ජනාධිපතිවරණ අපේක්‍ෂකයා විශාල මුදලක් වැය කර ඇති බවනම් නිසැකය. කෙසේ වෙතත් එම ප්‍රචාරණ කටයුතු සදහා යොදාගෙන තිබූ ගීතත් වීඩියෝ දර්ශනත් ඉතා නිර්මාණශීලී ඒවා. අවාසනාවට මම එම ගායකයන්ගේ හා පද රචකයන්ගේ නම් නම් දන් නෑ.  දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. නමුත් අලංකාර ගීත 3ක්. වීඩියෝ දර්ශනත් ඊට ගැළපෙන අයුරින් නිමවා තියෙනවා.


1.මිහිතලයේ සාමය අපටයි - පුංචි අපේ සෙනෙහස ඔබටයි (The peace on this land is for us Our innocent)


මම හිතන්නේ මේ තියෙන්නේ ලස්සනම දැන්වීම කියලා. තවත් විශේෂයක් තියෙනවා.එනම් මෙහි ඇති මුහුදු වෙරළ තීරයට යොදාගෙන තියෙන්නේ උස්වැටකෙයියාවේ මුහුදු වෙරළයි. දන්නවනේ ඉතින් මගේ ගම උස්වැටකෙයියාව කියලා.

2. ජය ජයවේ

මට පේන විදියට නම් මේ ගීතය ඔස්කා සම්මාන ලද 'ස්ලම් ඩෝග් මිලියනර්' චිත්‍රපටයේ ජෙය හෝ(Jai Ho) ගීතයේ ආභාෂය තිබේ.

3.දිනවමු ශ්‍රී ලංකා මාතා


මේකත් හොඳයි. අවස්ථාවට උචිත අයුරින් රූප රාමු සකසාගෙන ඇත.



සැලකිය යුතුයි: මෙය මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් නොවේ. හුදෙක් මාගේ ගී රස වින්දනය හේතු කොටගෙන පමණක් ලියන ලද්දකි.

LockerZ - තෑගි ගන්න

ලැබූවා වූ 2010 වසර ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරේවායි මම පළමු කොට පතමි. මේ මගේ 2010 වසරේ පළමු බ්ලොග් ලිපියයි. ඉතින් අලුත් අවුරුද්දට තෑගි ගන්න කවුරුත් කැමතියි නේ. ඔන්න ඉතින් LockerZ.com වෙබ් අඩවිය තියෙන්නේ ඒකට තමා. සමහරු මේ ගැන දැනටමත් දන්නවා ඇති. දන්නැති අයටත් එක්කයි මේ ආරංචිය කියන්නේ.
LockerZ මගින් අපට Points ලබා දෙනවා. ඒවායේ වටිනාකම අනුව අපට අවශ්‍ය තෑග්ගක් නිවසටම ගෙන්න ගන්න පුළුවන්. මුලින්ම හම්බවෙන්නනේ ටී-ෂර්ට් එකක්. හැබැයි පස්සේ පෙන් ඩ්‍රයිව්, දුරකථන, බෑග, සහ තවත් ගොඩක් දේ නිකන් දෙනවා. හැබැයි මාසෙකට එකයි ඉල්ලන්න පුළුවන්. ඒ ගැන විමසිල්ලෙන් නිතරම ලොග් වෙවි ඉන්නත් ඕනා. එතකොට පොයින්ට්ස් හම්බ වෙනවා.

තව දෙයක් ලොකර්ස් එකේ ‍නොමිලේ ලියාපදිංචි වෙන්න පුළුවන් වෙන්නේ දැනට ලියාපදිංචි වෙලා ඉන්න කෙනෙකු එවන ඉ-මේල් ආරඅධනාවක් මගින් පමණි. මේ විදියට 20දෙනෙකුට ආරධනා යවන්න ඕනා.

ඔබටත් LockerZ Invitation එකක් ඕනෑ නම් කමෙන්ටුවක් පහලින් දාන්න. ඉ-මේල් ලිපිනයක් ඒ සමඟ දාන්න.
Saturday, January 2, 2010
Posted by Shirosh

සිංහල හෝඩිය ලොව ඇති නිර්මාණාත්මක හෝඩියක්

‍පසුගිය දා ලොව ‍වඩාත් නිර්මෘණාත්මක හෝඩි තේරීමේ අන්තර්ජාතික සමුළුවක් පැවැත්වීණි.‍ මෙහිදී සිංහල හෝඩිය ලොව නිර්මාණාත්මක හෝඩි දහසයෙන් එකක් බව පිළිගැනිණ. මෙම පර්යේෂණය සිදු කරනු ලැබුවේ කොරියානු ජාතික මහාචාර්ය සුන් ජික් ඛේ විසිනි. ඔහු විවිධ රට වලට ගොස් මේ සඳහා අවශ්‍ය තොරතුරු විමසා බැලුවේ ය. සිංහල භාෂාව වෙනුවෙන් ජාත්‍යන්තර විනිශ්චය මණ්ඩලය ඉදිරියේ කරුණු දැක්වූයේ මහාචාර්ය ජේ.බී.
සිංහල හෝඩියට ආවේණික වූ අක්ෂර 6ක් තිබෙන මෙහිදී පැවසී ය. එනම් ඇ, ඈ, ඟ, ඬ, ඳ, ඹ යන අකුරුයි. සිංහල හෝඩිය සුළු වශයෙන් පාලි, සංස්කෘත හෝඩි වලින් ද ආභාෂය ලබා ඇත. එසේම මාලදිවයින් හෝඩිය සිංහල හෝඩියේ ආභාෂය ලබා ඇත.
සිංහල හෝඩිය හැර අනෙක් හෝඩි 15ට ‍ග්‍රීක, චීන, බුරුම, රෝම, දේවනගරි, ජපන් ආදී හෝඩීන් ද එකතු විය. මෙහි සුවිශේෂත්වය මෙම හෝඩි සියල්ලම ආසියානු කලාපයේ බිහි වූ ඒවා වීමයි.
Saturday, December 12, 2009
Posted by Shirosh

නොමිලේ ඩොමේන් සහ ගූගල් රැළි ආරාධනා

100% Free Domain

"100% Free Domain" කියලා නම් කියනවා. 100% ඇත්තද  කියල නම් දන්නෑ. ලියාපදිංචි වෙලාම බලන්න.



________________________________________________________________________________

ගූගල් රැල්ල පාගන්න ආරාධනා

ගූගල් රැල්ලක් (Google Wave) ඕනේ නම් යටින් අදහසක් පළ කරන්න. හැබැයි නිකම්ම් නිකම් අදහස් දාන්න එපා. ගූගල් රැල්ල ගැන ඉතා අර්ථවත්, සිංහලෙන්, වැකි 2ක් පමණක් දාන්න. තෝරා ගත් පළමු 10+දෙනාට ගූගල් වේව් ආරාධනාවක් එවනවා. (Google Wave Invitation)
(මට ආරාධනාවක් එව්ව Naliyaවත් මේ අවස්ථාවේදී මතක් කරනවා)
Wednesday, December 9, 2009
Posted by Shirosh

පුවත්පතක සිටියෙමි!

ඔන්න ටික කලකට පසුවයි මම බ්ලොග් ලිපියක් ලියන්නේ. ඒ මොකටවත් නෙමේ මට ලැබුණු විශේෂ අවස්ථාවක් ගැන කියන්නයි. මේකයි ඔක්තෝම්බර් 9 ලෝක තැපැල් දිනය වෙනුවෙන් කඳාන තැපැල් කාර්යාලය විසින් තැපැල් දෙපාර්තුමේන්තුවේ අනුග්‍රහය ඇතිව තැපැල් මුද්දර පිළිබඳව අන්තර් පාසල් දැනුම මිනුම තරගාවලියක් සංවිධානය කළා. මෙයට මගේ පාසල වන බප/මීග/ කඳාන සාන්ත සෙබස්තියන් මහා විද්‍යාලය නියෝජනය කරමින් මාත් සහභාගි වුණා. අවසානයේ අවසන් වටයට අප පාසල තේරුණා. අවසන් තරගයට අප සමග තරග වැදුණේ උස්වැටකෙයියාව සා.මරියා විද්‍යාලයයි. (මෙය මගේ ගමේ පිහිටි පාසලයි.) කෙසේ හෝ තරගාවලිය අප පාසල ජය ගත්තා. කුසලානයක් සමග තෑගි අප කණ්ඩායමට හිමි වූණා.
සතියකට පස්සේ පංතියේ කොල්ලෙක් කිව්වා ‘ඔයා පත්තරේ ඉන්නවා’ කියලා. ඒ පත්තර කෑල්ල පෙන්නුවම තමයි දන්නේ මම පත්තරේ ඉනනවා කියලා. (මටත් ඉතින් මාර හැපී) මගේ පිංතූරයක් පුවත්පතක පළවුනු පළමු අවස්ථාව මෙයයි.

පත්තර කෑල්ල නම් ගොඩක් පොඩි වෙලා. ස්කෑන් කරලා පොඩ්ඩක් සංස්කරණය කරලා තමා ගත්තේ.

ඉහතින් දැක්වෙන්නේ 2009 ඔක්තෝම්බර් 24 වැනිදා ලංකාදීප පුවත්පතේ පළවු ලිපියෙහි ඡායා පිටපතකි. (රවුම තුල ඉන්නේ me)
__________________________________________________________________________________

තැපැල් දිනය වෙනුවෙනුත් ඔබලා දැනුවත් කලොත් හොදයි කියලා හිතෙනවා. ඒ ගැන පොඩි විස්තරයක් තමයි මේ.....



ඉස්සර තැපැල් ක්‍රමයේදී ලිපි ලබන්නා තැපැල් ගාස්තු දැරිය යුතය. එහිදී පිටු ගණන, ලබන්නා වෙත ගමන්කල යුතු දුර යන සාධක මත ගාස්තු රඳා පවතී. නමුත් මේ ක්‍රමය අවාසි සහගත එකක් වූ නිසා ප්‍රතික්‍ෂේපයට ලක් විය. මේ සඳහා එංගලන්තයේදී ශ්‍රීමත් රෝලන්ඩ් හිල් "සම තැපැල් ගාස්තු ක්‍රමය" හඳ්‍රන්වා දුනි. මෙයට අනුව ලිපි යවන්නා අඳාළ ගාස්තු ගෙවිය යුතුය. එම ගාස්තු මුද්දර මඟින් අය කර ගැනීමට තීරණය විය. ඒ අනුව 1840 මැයි 6 වන දින වික්ටෝරියා රැජිනගේ ශීර්ෂය සහිත ලොව ප්‍රථම මුද්දරය නිකුත් විය. පැන්ස 1ක වටිනාකමින් යුතු එය "පෙනී බ්ලැක්" නම් විය.
‍එංගලන්තයේ මුද්දර දැති රහිත යි. ඒ වාගේම රටේ නම ද සටහන් කර නැත. ඒ සඳහා විශ්ව තැපැල් සංවිධානය ප්‍රථම මුද්දරය නිකුත් කිරීමේ ගෞරවය වෙනුවෙන් අවසර දී ඇත. විශ්ව තැපැල් සංවිධානය පිහිටුවා මේ ඔක්තෝම්බර් 9 දිනට අවුරුදු 135කි.
Monday, November 2, 2009
Posted by Shirosh

Download Sinhala Fonts

- Copyright © Shiroshan's Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -